“සුපිළිපන් සංස්කෘතියක් – ක්ලීන් ශ්‍රී ලංකාවක්” යන තේමාව යටතේ ක්‍රියාත්මක වන ජාතික “සුපිළිපන් සතිය”ට සමගාමීව, “පාරිසරික, සම්ප්‍රදානුකූල, ග්‍රාමීය සහ ප්‍රජා සවිබලගැන්වීම් සුපිළිපන්භාවය ප්‍රවර්ධනය කිරීම” මැයෙන් විශේෂ වැඩසටහනක් පරිසර අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී සංවිධානය කර තිබිණි.
පරිසර අමාත්‍ය වෛද්‍ය නමෝනිමල් පටබැඳි සහ අමාත්‍යාංශ ලේකම්වරයා ඇතුළු රාජ්‍ය නිලධාරීන් රැසකගේ සහභාගීත්වයෙන් පැවති මෙම වැඩසටහනේදී සුපිළිපන්භාවය සම්බන්ධයෙන් විශේෂ දේශනයක් විජයබාහු විද්‍යාලයේ මහාරාජ්‍ය රංගිර හල්වල මහතා විසින් සිදු කරන ලදී. ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික කුමාරනායක මහතාගේ නියෝග මත, ජනාධිපති ලේකම් කාර්යාලය සහ “ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහන එක්ව මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනු ලබයි.
රාජ්‍ය සේවයේ ගුණාත්මකභාවය, කාර්යක්ෂමතාව සහ පාරදൃശ්‍යභාවය ඉහළ නැංවීම මෙන්ම දූෂණයෙන් තොර ආංශික පරිපාලන ක්‍රමවේදයක් ගොඩනැඟීම මෙම ජාතික වැඩසටහනේ ප්‍රධාන අරමුණ වේ. සේව්‍යයන් විනයෙන්, සේව්‍යයන් පාලනයෙන් සහ සේව්‍යයන් අධීක්ෂණයෙන් යුතුව, හෘදය සාක්ෂියට එකඟව නිවැරදි, විනිවිදභාවයෙන් යුත් සේවාවක් ලබා දීමට රාජ්‍ය සේවකයින් දිරිගැන්වීම මෙහි අරමුණු අතරට ඇතුළත් ය.
පසුගිය 27 වැනි දින ආරම්භ වූ මෙම වැඩසටහන මෙම වසරේ දෙසැම්බර් 31 වැනිදා දක්වා සියලු රාජ්‍ය හා අර්ධ රාජ්‍ය ආයතන තුළ අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත. තවද, ජනාධිපති ලේකම් කාර්යාලයේ මෙහෙයවීම යටතේ සියලු රාජ්‍ය ආයතන තුළ පිහිටුවා ඇති අභ්‍යන්තර කටයුතු ඒකකය මඟින් මහජනතාවට සිදුවන අපහසුතා සහ දූෂණ ක්‍රියා සම්බන්ධ පැමිණිලි භාර ගැනීම සිදු කෙරෙන අතර, QR කේත, විද්‍යුත් තැපෑල, ලිපි, දුරකථන ඇමතුම් හෝ වෙබ් පණිවිඩ ඔස්සේ ඒවා ඉදිරිපත් කිරීමේ හැකියාව පවතී.














