පාරිභෝගික ආරක්ෂාව තහවුරු කිරීම සහ වෙළෙඳපොළේ අලෙවි වන භාණ්ඩවල ප්‍රමිතිය පරීක්ෂා කිරීම රජයේ අනිවාර්ය වගකීමක් බවත්, පසුගිය ජූලි 27 වන දින සිදු කරන ලද විශේෂ වැටලීම් පාරිභෝගික ආරක්ෂාව වෙනුවෙන් නීත්‍යානුකූලව ඉටු කරන ලද නිත්‍ය කාර්යභාරයක් බවත් වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ පවසයි.
පාරිභෝගික සේවා අධිකාරිය විසින් ක්‍රියාත්මක කරන ලද මෙම විශේෂ වැටලීම් මෙහෙයුමේදී, SLS සහතිකය නොමැතිව අලෙවි කළ හෙල්මට් 431ක් සහ කල්ඉකුත් වූ හෝ අලුත් නොකළ SLS සහතික සහිත හෙල්මට් 3,520ක් ඇතුළුව හෙල්මට් 4,000 කට ආසන්න ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන ඇත. මෝටර් සයිකල් ධාවකයින්ගේ ජීවිත ආරක්ෂාව උදෙසා නිසි ප්‍රමිතියෙන් යුතු හෙල්මට් භාවිතය අනිවාර්ය වන අතර, වෙළෙඳපොළේ පවතින ඇතැම් හෙල්මට් ආරක්ෂිත ආවරණයකට වඩා පළඳනාවක් ලෙස පමණක් සකසා තිබීම දැඩි අවදානම් සහගත තත්ත්වයක් බව අමාත්‍යවරයා පෙන්වා දී තිබේ.














