කඩුවෙල, කොරතොට ප්‍රදේශයේ පදිංචි 13 හැවිරිදි පිරිමි දරුවෙකු පාපැදියකින් ඇද වැටී සිදුවූ අනතුරක් නිවසට නොදන්වා වසා තබා ගැනීමෙන් පසු රෝහල්ගත කිරීමේදී අවාසනාවන්ත ලෙස මියගොස් ඇති බව නවගමුව පොලීසිය පවසයි.
විනෝදයට පාපැදි පදිමින් සිටියදී සිදුවූ මෙම අනතුරෙන් මියගොස් ඇත්තේ එකම පවුලේ නිවුන් සොහොයුරන්ගෙන් වැඩිමහල් දරුවා වන අතර, ඔරුවල දිසා රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ඔහු ජීවිතක්ෂයට පත්ව ඇත.
පොලිස් විමර්ශනවලට අනුව, මියගිය දරුවා සහ ඔහුගේ නිවුන් බාල සොහොයුරා හැඬලය වටේටම කැරකෙන ලෙස විශේෂයෙන් සවි කර තිබූ පාපැදි පැදීමට පුරුදුව සිට තිබේ. මව විසින් මෙම අනතුරුදායක ක්‍රියාවට නිරන්තරයෙන් විරෝධය පළ කර තිබුණද, ඇයට හොරෙන් පසුගිය 30 වන සවස කොරතොට වෑක්කවත්ත පාරේ ඔවුන් දෙදෙනා පාපැදි පදිමින් සිට ඇත. එහිදී ඉදිරියෙන් ගිය වැඩිමහල් සොහොයුරාගේ පාපැදිය ලිස්සා බිම ඇද වැටී ඇති අතර, බාල සොහොයුරා පැමිණ ඔහු නැගිටුවා පාපැදියද අතට දී නිවසට ගොස් තිබේ.
කෙසේ වෙතත්, සිදුවූ අනතුර පිළිබඳව දරුවන් දෙදෙනාම මාපියන්ට පවසා නැති අතර, වැඩිමහල් දරුවා එදින රාත්‍රී ආහාරය පවා ප්‍රතික්ෂේප කර ඇත. පසුව පසුදින උදෑසන දරුවා දැඩි බඩේ අමාරුවක් ගැන පැවසීම හේතුවෙන් මාපියන් විසින් ඔරුවල දිසා රෝහලට ඇතුළත් කර තිබුණද, ඒ වන විටත් ඔහු මියගොස් සිටි බව වෛද්‍යවරුන් තහවුරු කර තිබේ.
පාපැදියේ හැඬලය දරුවාගේ උදර ප්‍රදේශයේ ප්‍රබල ලෙස ඇනීමෙන් සිදුවූ අභ්‍යන්තර රුධිර වහනයක් හෝ හානියක් නිසා මෙම මරණය සිදුවන්නට ඇති බවට පොලීසිය සැක කරයි. සිද්ධිය සම්බන්ධයෙන් තලංගම හදිසි මරණ පරීක්ෂක සාම විනිසුරු ප්‍රේමලතා අබේවර්ධන මහත්මිය විසින් ස්ථානීය පරීක්ෂණය පවත්වා ඇත.














