අගෝස්තු 09 වන දිනට යෙදෙන ජගත් ආදිවාසි දිනයට සමගාමීව, මෙරට ආදිවාසී ප්‍රජාවගේ සාම්ප්‍රදායික අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සහ පරිසර පද්ධති සුරක්ෂිත කිරීම අරමුණු කරගත් නව නීතිමය රෙගුලාසි මාලාවකට පරිසර අමාත්‍ය වෛද්‍ය දම්මික පටබැඳි මහතා සිකුරාදා (07) අත්සන් තැබීය.
වන සත්ව හා වෘක්ෂලතා ආරක්ෂණ ආඥාපනත යටතේ පරිසර අමාත්‍යවරයා වෙත පැවරී ඇති බලතල අනුව මෙම නව නියෝග නිකුත් කර ඇති අතර, ඒ හරහා මාදුරුඔය සහ ගල්ඔය ජාතික උද්‍යාන ආශ්‍රිතව ජීවත්වන පාරම්පරික ආදිවාසී ජනතාවට සිය සාම්ප්‍රදායික ජීවන රටාවන් සහ යැපුම් ක්‍රියාකාරකම් පවත්වාගෙන යාම සඳහා නීතිමය පහසුකම් සැලසෙනු ඇත.
මෙම නව රෙගුලාසි යටතේ මාදුරුඔය සහ ගල්ඔය ජාතික උද්‍යාන ආශ්‍රිත ප්‍රදේශ විශේෂ බලපෑම් කලාප ලෙස නම් කර ඇති අතර, එම කලාපවල පදිංචි වයස අවුරුදු 18ට වැඩි ආදිවාසී සාමාජිකයන් සඳහා වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් ඡායාරූප සහිත විශේෂ හැඳුනුම්පතක් නිකුත් කිරීමට නියමිතය. කෙසේ වෙතත්, රක්ෂිත තුළ සිදුකරන සියලු ක්‍රියාකාරකම් සාම්ප්‍රදායික ක්‍රමවේදයන්ට අනුව පමණක් සිදුකළ යුතු අතර, වාණිජ අරමුණු සඳහා ස්වාභාවික සම්පත් භාවිත කිරීම දැඩි ලෙස තහනම් කර ඇත.














