ඔක්තෝබර් මාසය වන විට වැඩි වර්ෂාපතනයක් බලාපොරොත්තු විය හැකි වුවද, ලබන වසරේ (2027) පළමු කාර්තුවේදී වර්ෂාව අඩුවී උෂ්ණත්වය ඉහළ යාම නිසා ජල මූලාශ්‍ර සිඳී යාමේ අවදානමක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ඒ.එල්.කේ. විජේමාන්න මහතා පවසයි.
කැලණිය විශ්වවිද්‍යාලයේදී පැවති “එල් නිනෝ සහ ලා නිනා සමඟ රටේ අනාගතය” නම් සංවාදාත්මක වැඩසටහනකට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය. එල් නිනෝ, ලා නිනා සහ IOD වැනි දේශගුණික විපර්යාස හේතුවෙන් ශ්‍රී ලංකාවේ වර්ෂාපතන රටාවට ඇතිවිය හැකි බලපෑම් පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි.
මෙම සංසිද්ධිවල හැසිරීම විවිධ වන බැවින් එක් සාධකයක් පමණක් පදනම් කර ගනිමින් කාලගුණය පිළිබඳ අවසන් නිගමනයකට පැමිණිය නොහැකි බවත්, කෙසේ වෙතත් ඉදිරි කාලගුණික විපර්යාස හමුවේ මතුවිය හැකි තත්ත්වයන් පිළිබඳව අවධානයෙන් සිටිය යුතු බවත් නිලධාරීහු පෙන්වා දුන්හ.














