පිලිපීනයේ පැලවන් දූපතේ අමෙරිකානු මධ්‍යස්ථානයක් පිහිටුවීමේ පියවර සම්බන්ධයෙන් චීන විදේශ අමාත්‍යාංශය දැඩි අවවාදයක් නිකුත් කරමින් ප්‍රකාශ කර ඇත්තේ, අමෙරිකාව සහ පිලිපීනය අතර ක්‍රියාත්මක වන ඕනෑම ද්විපාර්ශ්වික සහයෝගිතාවක් කිසිදු විටෙක තෙවන පාර්ශ්වයකට එරෙහිව ඉලක්ක නොවිය යුතු බවයි.
පිලිපීන ධීවරයින්ට නීතිවිරෝධී ධීවර කටයුතු වාර්තා කිරීමට සහාය වීමේ අරමුණින් අමෙරිකානු තානාපති කාර්යාලය විසින් අදාළ කලාපයේ මධ්‍යස්ථානයක් ස්ථාපත කරන බවට නිවේදනය කිරීමත් සමඟම, බීජිං රජය මේ පිළිබඳව සිය දැඩි අවධානය යොමු කර ඇති බව චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක ලින් ජියන් නිත්‍ය මාධ්‍ය හමුවකදී අවධාරණය කළේය. කලාපීය සාමය, ස්ථාවරත්වය සහ අන්‍යෝන්‍ය විශ්වාසය වර්ධනය කිරීම වෙනුවෙන් රටවල් කටයුතු කළ යුතු බව පෙන්වා දුන් හෙතෙම, සාමාන්‍ය ද්විපාර්ශ්වික සබඳතාවලට චීනය විරුද්ධ නොවන නමුත් කලාපීය ස්වෛරීභාවයට හෝ වෙනත් පාර්ශ්වයක අවශ්‍යතාවලට හානි වන අයුරින් ක්‍රියා කිරීම බරපතළ ගැටළුවක් බව පෙන්වා දුන්නේය.
දකුණු චීන මුහුද ඇතුළු ඉන්දු-පැසිෆික් කලාපයේ බල තුලනය සහ භූ දේශපාලනික තරඟකාරීත්වය තවදුරටත් උණුසුම් අතට හැරවීමට මෙම වර්ධනයන් හේතු විය හැකි අතර, ඉදිරියේදී අමෙරිකාව සහ පිලිපීනය විසින් ගනු ලබන ආරක්ෂක හා උපායමාර්ගික පියවරයන් කලාපීය ස්ථාවරත්වයට සහ ජාත්‍යන්තර රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවලට බලපාන ආකාරය පිළිබඳව ජාත්‍යන්තර ප්‍රජාව දැඩි අවධානයකින් යුතුව පසුවෙයි.












