ඉරාන රාජ්‍ය පාලනය බිඳහෙළීමේ අරමුණින් ඉතිහාසයේ සැරම ආර්ථික සම්බාධක පැනවීමට ඇමෙරිකාව සූදානම් වන බවට කළ ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින්, ඇමෙරිකාවේ ඕනෑම නව තර්ජනයකට එරෙහිව “විනාශකාරී සහ දැඩි” ප්‍රතිප්‍රහාරයක් එල්ල කරන බව ඉරානය ප්‍රකාශ කර සිටියි. ඇමෙරිකානු භාණ්ඩාගාර ලේකම් ස්කොට් බෙසන්ට් (Scott Bessent) විසින් ඉදිරි සඳුදා දිනයේදී මෙම නව සම්බාධක පිළිබඳ සවිස්තරාත්මක තොරතුරු හෙළි කිරීමට නියමිත අතර, ඉරානයට කිසිදු අයුරකින් ආර්ථික ශක්තියක් ලබාදෙන රටවලට එරෙහිව ද පියවර ගන්නා බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මීට පෙර අනතුරු අඟවා තිබුණි.
ඉරාන සන්නද්ධ බලකායේ ප්‍රධානී මේජර් ජෙනරාල් අලි අබ්දොල්ලාහි (Ali Abdollahi) සඳහන් කළේ ගොඩබිම, මුහුද, ගුවන, ගුවන් ආරක්ෂක සහ සයිබර් අවකාශය යන සියලුම ක්ෂේත්‍ර ඔස්සේ ඇමෙරිකානු තර්ජනවලට එරෙහිව දැවැන්ත සහ පලිගැනීමේ මෙහෙයුම් දියත් කිරීමට ඉරාන හමුදාව සූදානමින් සිටින බවයි. එමෙන්ම ඉරාන පාර්ලිමේන්තු කථානායක මොහොමඩ් බාකර් කලීබාෆ් (Mohammad Baqer Qalibaf) පෙන්වා දෙන්නේ සෘජු හමුදාමය ගැටුමකින් ජයග්‍රහණය කිරීමට නොහැකි වූ තැන ඇමෙරිකාව සහ ඊශ්‍රායලය මෙලෙස අසාධාරණ ආර්ථික හා මානසික යුද්ධයකට අවතීර්ණ වී ඇති බවයි.
මෙම අර්බුදය හමුවේ ලෝක වෙළඳපොළේ තෙල් මිල ඉහළ යාමේ අවදානමක් මතුව ඇති අතර, ඉරාන තෙල්වලින් 80% කට වඩා මිලදී ගන්නා චීනය වෙත ද ඇමෙරිකාව බලපෑම් එල්ල කරමින් සිටියි. කෙසේ වෙතත්, මෙවැනි සම්බාධක මඟින් ගැටලුව විසඳිය නොහැකි බවත්, රාජ්‍ය තාන්ත්‍රික මාර්ගවලින් විසඳුම් සෙවිය යුතු බවත් වොෂින්ටනයේ පිහිටි චීන තානාපති කාර්යාලය ප්‍රකාශ කර ඇත.
තොරතුරු උපුටා ගැනීම: Reuters ඇසුරින්














