42 වැනි ජාතික මීලාද්-උන් නබි උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද මීගමුව පෙරියමුල්ල අල්-හිලාල් විද්‍යාලයේදී අභිමානවත් අයුරින් පැවැත්වේ. “සහජීවනය, සහෝදරත්වය සහ එකමුතුකම” යන අභිමතාර්ථය පෙරටු කරගනිමින් සංවිධානය කර ඇති මෙම ජාතික මහෝත්සවය හරහා මෙරට ආගමික හා සාමාජීය බැඳීම් තවදුරටත් තහවුරු කිරීමට අපේක්ෂා කෙරේ.
උත්සවයට සමගාමීව ලේ දන්දීමේ කඳවුරු, පැළ සිටුවීමේ වැඩසටහන් මෙන්ම නබිතුමාගේ ජීවන දර්ශනය ඇසුරෙන් විශේෂ ප්‍රදර්ශන සහ සංස්කෘතික වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කරනු ලබයි. මීට අමතරව, ගම්පහ දිස්ත්‍රික්කයේ මුස්ලිම් පල්ලි 12 ක යටිතල පහසුකම් සංවර්ධනය සඳහා මූල්‍ය ප්‍රතිපාදන ප්රදානය කිරීමත්, විශේෂ ග්රන්ථයක් සමඟ සමරු මුද්දරයක් එළිදැක්වීමත් මෙවර උත්සවයේ සුවිශේෂී අංග ලෙස සැලකේ.
මෙම ජාතික වැඩසටහන මඟින් විවිධ ප්‍රජාවන් අතර සංස්කෘතික අවබෝධය වර්ධනය වන අතරම, ඉදිරියටත් ජාතික එකමුතුභාවය තවදුරටත් ශක්තිමත් කර ගැනීමට අවශ්‍ය පදනම වැටෙනු ඇතැයි අපේක්ෂා කෙරේ. ආගමික සහජීවනය වර්ධනය කිරීම අරමුණු කරගත් මෙම රාජ්‍ය මට්ටමේ මැදිහත්වීම රටේ අනාගත සමාජ සංවර්ධනයට මෙන්ම සාමකාමී සංවාදයකට මහඟු රුකුලක් වනු ඇත.














