හොංකොං හි පැවති 12 වැනි ලෝක තිරසර සම්මන්ත්‍රණයට (12th World Sustainability Forum) ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගි වූ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පර්යේෂිකාවක සහ නීතිඥවරියක වන වින්දුලා ගම්මන්පිල මහත්මිය, වසරේ හොඳම පර්යේෂණ නිබන්ධනයට හිමි සම්මානය දිනා ගැනීමට සමත්ව තිබේ.
ලෝකයේ රටවල් නියෝජනය කරමින් පර්යේෂකයන් 500කට අධික පිරිසක් ඉදිරිපත් කළ නිබන්ධන අතුරින් ඇයට මෙම කීර්තිමත් සම්මානය හිමි වී ඇත. අගෝස්තු 21 වැනිදා සිට 24 වැනිදා දක්වා හොංකොං නුවරදී මෙම සම්මන්ත්‍රණය පවත්වා තිබුණි. එහිදී ඇය විසින් ‘විදුලි ක්ෂේත්රයට හරිත බලශක්ති ක්‍රමවේදය යටතේ කෙරෙන නව පිවිසුම් තිරසර ලෙස ඇගැයීමට අවශ්‍ය ප්‍රතිපත්ති රාමුවක්’ යන මැයෙන් සිය පර්යේෂණ නිබන්ධනය ඉදිරිපත් කර තිබිණි.
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයෙන් ඉංජිනේරුවරියක ලෙස උපාධිය ලබා පර්යේෂිකාවක ලෙස සේවය කරන ඇය, මීට අමතරව නීති උපාධියද හැදෑරී කොළඹ අලුත්කඩේ අධිකරණ සංකීර්ණයේ සේවයේ නිරත නීතිඥවරියකි. මෙම විශිෂ්ට ජයග්රහණයෙන් පසු ඇය ඊයේ (27) උදෑසන කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණියාය.
















