පාර්ලිමේන්තු නිලධාරීන්ගේ වාහන සහ ඉන්ධන භාවිතය සම්බන්ධයෙන් නිකුත් වූ විශේෂ විගණන වාර්තාවේ දත්ත ඇතැම් පිරිස් දේශපාලන අරමුණු වෙනුවෙන් විකෘති කරමින් සමාජගත කරන බව හිටපු කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. 2015 සිට 2024 දක්වා කාලය තුළ පාර්ලිමේන්තුවේ තනතුරු දැරූවන්ගේ වාහන භාවිතය පිළිබඳ නිරීක්ෂණ සම්බන්ධයෙන් මහජනතාව තුළ වැරදි අවබෝධයක් ඇති කිරීමට උත්සාහ දරන බව ඔහු පෙන්වා දෙයි.
තමන් කථානායක ධුරය දැරූ සමයේ වාහන නවයක් භාවිතා කළ බවට එල්ල වන චෝදනා සම්පූර්ණයෙන්ම අසත්‍ය බවත්, භාවිතා කළේ පාර්ලිමේන්තුව මගින් නිල වශයෙන් ලබාදුන් වාහන පමණක් බවත් විගණන වාර්තාවෙන් තහවුරු වී ඇති බවත් ඔහු අවධාරණය කරයි. එම වාහන සියල්ල ජනාධිපති ලේකම්වරයාගේ චක්‍රලේඛ සහ රාජ්‍ය ප්‍රතිපාදනවලට අනුකූලව ආරක්ෂක අවශ්‍යතා වෙනුවෙන් ලබාදුන් ඒවා වේ.
2023 සහ 2024 වසරවල ඉන්ධන භාවිතය ඉහළ යාම “අධික පුද්ගලික ඉන්ධන භාවිතයක්” ලෙස අර්ථ දැක්වීම සත්‍ය විකෘති කිරීමක් බව පවසන අබේවර්ධන මහතා, 2022 ජූලි මාසයෙන් පසු පැවති සුවිශේෂී ආරක්ෂක තත්ත්වය හමුවේ කථානායකවරයාගේ ආරක්ෂාවට අතිරේක භට පිරිස් සහ ආරක්ෂක රථ යෙදවීමට සිදුවූ බව පෙන්වා දෙයි. විශේෂයෙන්ම ආරක්ෂක අමාත්‍යාංශයේ නිර්දේශ මත ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ලබාදුන්, ඉන්ධන පරිභෝජනය ඉතා අධික වෙඩි නොවදින (Bulletproof) රථයක් භාවිත කිරීමට සිදුවීම මෙම ඉන්ධන පිරිවැය ඉහළ යාමට ප්‍රධාන හේතුවක් වී තිබේ. රටේ තෙවැනි පුරවැසියා ලෙස සිදු කළ නිල සංචාර සහ ආරක්ෂක රථ පෙළපාලි සඳහා වැය වූ ඉන්ධන ප්‍රමාණය සාමාන්‍ය පුද්ගලයෙකුගේ පුද්ගලික වාහන භාවිතය සමඟ සැසඳීම අවිද්‍යාත්මක බවද ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.
















