නුවරඑළිය ග්‍රෙගරි වැව මුහුණ දී ඇති බරපතල ජල දූෂණ අර්බුදය විසඳීම සඳහා පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි මහතාගේ ප්‍රධානත්වයෙන් විශේෂ නිරීක්ෂණ චාරිකාවක් සහ ඒකාබද්ධ සාකච්ඡාවක් පවත්වනු ලැබ තිබේ. සංචාරක ආකර්ෂණයෙන් අනූන මෙම ජල සම්පතට කෘෂිකාර්මික අපද්‍රව්‍ය සහ නගරයේ මලාපවහන පද්ධතියේ අපජලය එකතු වීම හේතුවෙන් මතුව ඇති පාරිසරික අවදානම පාලනය කිරීම සඳහා කඩිනම් මැදිහත්වීමක් සිදු කර ඇති අතර, ඒ සඳහා අදාළ සියලු රාජ්‍ය ආයතන එකම වහලක් යටට ගෙන ඒමට පියවර ගෙන ඇත.
මෙම අර්බුදයට තිරසාර විසඳුම් සෙවීම පිණිස නාවික හමුදාව, මධ්‍යම පරිසර අධිකාරිය, නුවරඑළිය මහ නගර සභාව සහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඇතුළු පාර්ශ්වයන්ගේ සහභාගීත්වයෙන් විශේෂ කළමනාකරණ කමිටුවක් පත් කර තිබීම මෙහිදී ගත් සුවිශේෂී පියවරකි. ඒ හරහා වැවට අපද්‍රව්‍ය එක්වීම වැළැක්වීම සඳහා අතහැර දමා තිබූ ස්වාභාවිකව පිරිපහදු වන පොකුණු 13ක පද්ධතිය නැවත සක්‍රීය කිරීමටත්, ස්වාභාවික වාතනය ඉහළ නංවා ජලයේ දුර්ගන්ධය මෙන්ම නයිට්රජන් හා පොස්පරස් සාන්ද්‍රණය අවම කිරීමටත් කෙටිකාලීන යෝජනාවලියක් ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇත.
මෙම ඒකාබද්ධ වැඩපිළිවෙළෙහි ඉදිරි පියවරක් ලෙස, නගරයේ මලාපවහන පද්ධතිය ක්‍රමානුකූලව සංවර්ධනය කිරීම ඇතුළු දීර්ඝකාලීන ව්‍යාපෘති යෝජනා කඩිනමින් සැකසීමට නියමිත අතර, එය නුවරඑළිය නගරයේ පරිසර පද්ධතිය ආරක්ෂා කරගනිමින් සංචාරක කර්මාන්තය නංවාලීමට ඉමහත් රුකුලක් වනු ඇත. සියලුම රාජ්‍ය ආයතනවල පූර්ණ සම්බන්ධීකරණයෙන් යුතුව ක්‍රියාත්මක වන මෙම සංරක්ෂණ ක්‍රියාවලිය හරහා ග්‍රෙගරි වැව අනාගත පරපුර වෙනුවෙන් සුරක්ෂිත කිරීමේ ජාතික වගකීම සාර්ථක කරගත හැකි වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
















