මහජනතාවගේ සාමකාමී ජීවිතයට සහ අවට පදිංචිකරුවන්ට බාධාවක් නොවන පරිදි ශබ්ද විකාශන යන්ත්‍ර, ඇම්ප්ලිෆයර් සහ වෙනත් ශබ්ද උපකරණ නීත්‍යානුකූලව භාවිතා කරන ලෙස ශ්‍රී ලංකා පොලිසිය මහජනතාව වෙත දැනුම් දී තිබේ. මෙම ශබ්ද දූෂණය ළදරුවන්, පාසල් දරුවන්, වැඩිහිටියන් සහ රෝගීන් සඳහා බරපතල සෞඛ්‍ය හා මානසික ගැටලුවක් බවට පත්ව ඇති බව නිරීක්ෂණය වී ඇත.
ශ්‍රේෂ්ඨාධිකරණ නඩු අංක 38/2005 දරන නියෝගයට අනුව, මහජන පීඩාවක් ලෙස සලකා නීතිමය ක්‍රියාමාර්ග ගන්නා අතර, සාමාන්‍යයෙන් රාත්‍රී 10.00 සිට පසුදින පෙරවරු 06.00 දක්වා කාලය තුළ ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතයට අවසර ලබා නොදේ. කෙසේ වෙතත්, ආගමික හෝ විශේෂ අවස්ථාවන්හිදී අදාළ කරුණු සලකා බලා පොලිස් අවසරය මත පහත පරිදි කාලසීමාවන් හිමිවේ:
සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 10.00 දක්වා
සිකුරාදා සහ සෙනසුරාදා දිනවල අලුයම 01.00 දක්වා
ඉරිදා දිනවල අලුයම 12.30 දක්වා
මෙම කාලසීමාවන් බලපත්‍රලාභීන්ට ස්වයංක්‍රීයව හිමිවන අයිතියක් නොවන අතර, අවසරයක් තිබුණද ශබ්දය අදාළ පරිශ්‍රයට පමණක් සීමා කිරීම අනිවාර්ය වේ. කොන්දේසි උල්ලංඝනය කරමින් හෝ පොලිස් දැනුම්දීම් නොතකා තවදුරටත් අධික ශබ්දයෙන් කටයුතු කරන්නේ නම්, අදාළ ශබ්ද උපකරණ පොලිස් භාරයට ගැනීම ඇතුළු තදින්ම නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරනු ඇත. නීතිවිරෝධී ලෙස අධික ශබ්ද නිකුත් කිරීම් පිළිබඳව ළඟම ඇති පොලිස් ස්ථානයට හෝ 118 / 119 හදිසි ඇමතුම් අංක වෙත දැනුම් දෙන ලෙස පොලිසිය ඉල්ලා සිටී.















