ශ්‍රී ලංකා නාවික හමුදාව සහ මිරිහාන දිස්ත්‍රික් අපරාධ විමර්ශන ඒකකය ඒකාබද්ධව වැල්ලම්පිටිය ප්‍රදේශයේ සිදු කරන ලද විශේෂ සෝදිසි මෙහෙයුමකදී, නීතිවිරෝධී ලෙස අලෙවි කිරීමට සූදානම් කර තිබූ විදේශීය ඉලෙක්ට්‍රොනික දුම්වැටි තොගයක් සමඟ 26 හැවිරිදි සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබේ. බටහිර නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා රංගල ආයතනය සහ මිරිහාන දිස්ත්‍රික් අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින් පසුගිය පළමුවැනිදා ක්‍රියාත්මක කරන ලද මෙම මෙහෙයුමේදී, සැකකටයුතු මෝටර් රථයක් පරීක්ෂාවට ලක් කිරීමෙන් අනතුරුව මෙම නීතිවිරෝධී ජාවාරම අනාවරණය කර ගැනීමට හැකි වී ඇත.
මෙම වැටලීමේදී නීතිවිරෝධී ඉලෙක්ට්‍රොනික දුම්වැටි 130ක් සහ ප්‍රවාහනය සඳහා යොදාගත් මෝටර් රථයද ආරක්ෂක අංශ භාරයට ගෙන ඇති අතර, නාගරික ප්‍රදේශවල ක්‍රියාත්මක වන මෙවැනි නීතිවිරෝධී ජාවාරම් ජාලයන් රටේ ආර්ථිකයට සහ මහජන සෞඛ්‍යයට එල්ල කරන බලපෑම අතිමහත්ය. විශේෂයෙන්ම තරුණ පරම්පරාව ඉලක්ක කර ගනිමින් නීතිමය රාමුවෙන් බැහැරව සිදුවන මෙවැනි ජාවාරම් මැඩපැවැැත්ම සඳහා ආරක්ෂක අංශ සහ බුද්ධි අංශ එක්ව ක්‍රියාත්මක කරන මෙහෙයුම්වල වැදගත්කම මෙමඟින් මනාව පැහැදිලි වේ.
අත්අඩංගුවට ගත් සැකකරු, මෝටර් රථය සහ නීතිවිරෝධී දුම්වැටි තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා වැල්ලම්පිටිය පොලිසිය වෙත භාර දී ඇති අතර, මෙම ජාලයේ ප්‍රධාන ජාවාරම්කරුවන් සහ ඊට සම්බන්ධ වෙනත් පුද්ගලයන් හඳුනා ගැනීම සඳහා පුළුල් විමර්ශන ක්‍රියාත්මක වෙමින් පවතී. ඉදිරියේදී නීතිය දැඩි ලෙස ක්‍රියාත්මක කිරීම හරහා මෙවැනි ජාවාරම් පුළුල් වීම පාලනය කිරීමටත්, නීතිවිරෝධී වෙළඳපල ජාලයන් අඩපණ කිරීමටත් අදාළ ආයතන කටයුතු කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.
















