කොළඹ වරායේදී මෑතකදී අත්අඩංගුවට ගත් ඇමරිකානු ඩොලර් මිලියන 21ක් වටිනා ස්ඵටික මෙතම්ෆෙටමින් හෙවත් ‘අයිස්’ කිලෝග්‍රෑම් 463ක මත්ද්‍රව්‍ය තොගය සොයාගැනී ඇත්තේ ඇමරිකා එක්සත් ජනපද බුද්ධි අංශ විසින් ලබාදුන් නිශ්චිත තොරතුරු මත බව කොළඹ පිහිටි ඇමරිකානු තානාපති කාර්යාලය නිල වශයෙන් තහවුරු කර තිබේ. ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් ශ්‍රී ලංකාව හරහා මෙම නීතිවිරෝධී ජාලය ක්‍රියාත්මක කිරීමට උත්සාහ කර ඇති අතර, මෙරට ජාතික ආරක්ෂාවට සහ කලාපීය ස්ථාවරත්වයට එල්ල වී තිබෙන මත්ද්‍රව්‍ය තර්ජනයේ බරපතලකම මෙමඟින් මනාව අනාවරණය වේ.
එක්සත් ජනපද මත්ද්‍රව්‍ය බලාත්මක කිරීමේ පරිපාලනයේ (DEA) නවදිල්ලි කාර්යාලය සහ ශ්‍රී ලංකා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය (PNB) ඒකාබද්ධව සිදු කළ මෙම මෙහෙයුමේදී පාකිස්තානය පදනම් කරගත් මත්ද්‍රව්‍ය ජාවාරම් ජාලයක් නාන තුවා තුළ සඟවා තිබූ මෙම තොගය සමඟ කොටුවී ඇත. අන්තර්ජාතික අපරාධ සංවිධාන මඟින් ක්‍රියාත්මක කෙරෙන සහ ත්‍රස්තවාදයට අරමුදල් සපයන මෙවැනි ජාලයන් කඩාකප්පල් කිරීම සඳහා රටවල් දෙක අතර පවතින හවුල්කාරිත්වය සහ තාක්ෂණික සහාය මෙහිදී ප්‍රධාන කාර්යභාරයක් ඉටු කර ඇති බව තානාපති කාර්යාලය පෙන්වා දෙයි.
ඉදිරියේදී ජාත්‍යන්තර අපරාධ සංවිධාන ආක්‍රමණශීලී ලෙස ලුහුබැඳීමටත්, මත්ද්‍රව්‍ය ජාවාරමෙන් ලැබෙන නීතිවිරෝධී ආදායම් මැඩපැවැත්වීමටත් ශ්‍රී ලංකාව සමඟ අඛණ්ඩව කටයුතු කිරීමට එක්සත් ජනපදය අපේක්ෂා කරයි. රටේ පුරවැසියන් මත්ද්‍රව්‍ය ජාවාරමේ අනතුරුවලින් ආරක්ෂා කර ගැනීම සඳහා ආයතනික මට්ටමින් සහ කලාපීය හවුල්කරුවන් සමඟ එක්ව ආරක්ෂක යාන්ත්‍රණයන් තවත් සවිමත් කිරීමට මෙම සාර්ථක මෙහෙයුම මහඟු රුකුලක් වනු ඇත.
















