පාතාල ක්රියාකාරකම් සහ මත්කුඩු ජාවාරම් සඳහා යතුරුපැදි සැපයීමේ නිරත වූ බවට සැක කෙරෙන “බෝම්බුවල සුද්දා” නැමැති අන්වර්ථ නාමයෙන් හඳුන්වන 30 හැවිරිදි සැකකරුවෙකු කළුතර අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. කළුතර දකුණ පොලිස් වසමේ නාගොඩ මංසන්ධිය ප්රදේශයෙන් යතුරුපැදියක් සොරකම් කිරීම සම්බන්ධයෙන් ලද පැමිණිල්ලකට අනුව සීසීටීවී (CCTV) දර්ශන ඔස්සේ සිදුකළ විමර්ශනවලදී සැකකරු හඳුනාගෙන ඇත.
පසුව බෝම්බුවල ප්රදේශයේදී අංක තහඩුවේ ලියාපදිංචි අංක වෙනස් වන පරිදි ස්ටිකර් අලවා සොරකම් කළ යතුරුපැදිය ධාවනය කරමින් තිබියදී පොලිස් කණ්ඩායමක් විසින් මොහු අත්අඩංගුවට ගෙන තිබේ. වැඩිදුර විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ මොහු ඉංගිරිය, රත්නපුර සහ කිරිඇල්ල යන පොලිස් වසම්වල යතුරුපැදි සොරකම් කිරීම් රැසකට සම්බන්ධ අයෙකු බවත්, එලෙස සොරකම් කරන යතුරුපැදි මත්කුඩු ජාවාරම් සහ වෙනත් සාපරාධී ක්රියා සඳහා පාතාල කල්ලි වෙත ලබා දී ඇති බවත්ය. අත්අඩංගුවට ගත් සැකකරු කළුතර මහෙස්ත්රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
















