මෙවර යල කන්නයේ ගොවීන්ගේ වී අස්වනු කිසිදු බාධාවකින් තොරව සාධාරණ මිලකට මිලදී ගැනීමේ වැඩසටහනට සමගාමීව, වවුනියාව දිස්ත්‍රික්කයේ කුඩා හා මධ්‍යම පරිමාණයේ වී මෝල් හිමියන් වෙත පොලී රහිත සහන ණය යටතේ වී මිලදී ගැනීම සඳහා මුදල් චෙක්පත් නිකුත් කිරීම සමූපකාර සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය උපාලි සමරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කර තිබේ.
ගොවීන්ගේ වී අස්වැන්නට රජය විසින් ස්ථාවර මිලක් සහතික කිරීම සහ වී මාෆියාව අවම කිරීම අරමුණු කරගනිමින් ක්‍රියාත්මක මෙම වැඩසටහන යටතේ වවුනියාව දිස්ත්‍රික්කය සඳහා වෙන් කර ඇති මුදල රුපියල් මිලියන 109කි. එහි පළමු අදියර යටතේ රුපියල් මිලියන 50ක මුදලක් නිකුත් කර ඇති අතර, මෙහිදී නාඩු සහ රතු නාඩු වී කිලෝවක් රුපියල් 120කටත්, සම්බා වී කිලෝවක් රුපියල් 130කටත් ගොවීන්ගෙන් මිලදී ගන්නා ලෙස වී මෝල් හිමියන්ට උපදෙස් ලබාදී ඇත. වවුනියාව දිස්ත්‍රික් ලේකම් පී.ඒ. සරත්චන්ද්‍ර සහ අතිරේක දිස්ත්‍රික් ලේකම් එන්. කමලදාසන් යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
















