භූතානයේ සංචාරයක නිරත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය, එරට අධ්‍යාපන හා නිපුණතා සංවර්ධන අමාත්‍ය යීසාං දේ තාපා මහතා සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡාවකට එක්ව තිබේ. ශ්‍රී ලංකාව සහ භූතානය අතර අධ්‍යාපන ක්ෂේත්රයේ සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීම මෙම හමුවේ මූලික අරමුණ වී ඇත.
මෙම සාකච්ඡාවේදී භූතාන සිසුන්ට ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාලවල දන්ත වෛද්‍ය විද්‍යාව, වෛද්‍ය විද්‍යාව (MBBS) සහ භෞත චිකිත්සාව ඇතුළු සෞඛ්‍ය විද්‍යා විෂය ක්ෂේත්රවල උපාධි හා පශ්චාත් උපාධි අධ්‍යයන කටයුතු සඳහා අවස්ථා ලබාදීම හා ඒවා පුළුල් කිරීම පිළිබඳව විශේෂ අවධානයක් යොමු කර තිබේ. මීට අමතරව, අධ්‍යාපනය, උසස් අධ්‍යාපනය සහ වෘත්තීය පුහුණු ක්ෂේත්රවල නව සහයෝගීතා අවස්ථා හඳුනා ගැනීමටත්, දෙරටේ විශ්වවිද්‍යාල සහ අධ්‍යාපනික ආයතන අතර සබඳතා වර්ධනය කර ගැනීමටත් දෙපාර්ශ්වය එකඟ වී ඇත.
















