දේශපාලන ඉතිහාසයේ දැවැන්ත සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් එක්සත් ජාතික පක්ෂයේ 80 වැනි සංවත්සර සැමරුම අද (06) පෙරවරු 9.00ට පිටකෝට්ටේ පිහිටි පක්ෂ මූලස්ථානයේදී හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඉතා අභිමානවත් අයුරින් පැවැත්වීමට නියමිතය. වසර 1946කදී කොළඹ ෆාම් කෝට් මන්දිරයේදී ඩී.එස්. සේනානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කරන ලද මෙම දේශපාලන ව්‍යාපාරය, මෙරට ප්‍රජාතන්ත්‍රවාදී පාලන තන්ත්‍රය හැඩගැස්වීමේදී සහ ජාතික සංවර්ධන ක්‍රියාවලියේදී අතිමහත් කාර්යභාරයක් ඉටු කරමින් දශක ගණනාවක් පුරා රටේ දේශපාලන ගමන් මඟ තීරණය කළ ප්‍රධාන බලවේගයක් ලෙස අඛණ්ඩව කැපී පෙනී ඇත.
ඩී.එස්. සේනානායක, ඩඩ්ලි සේනානායක, ජෝන් කොතලාවල, ජේ.ආර්. ජයවර්ධන සහ රණසිංහ ප්‍රේමදාස වැනි අමරණීය නායකයින් රැසකගේ දේශපාලන දායකත්වයෙන් පෝෂණය වූ එක්සත් ජාතික පක්ෂය, වර්තමානයේදී දැඩි අභියෝග සහ දේශපාලන පෙරළි මැද වුවද සිය අටවැනි දශකය කරා පා තැබීම මෙරට සමකාලීන දේශපාලන ක්ෂේත්‍රය තුළ විශේෂ අවධානයට ලක්ව තිබේ. වර්තමාන පක්ෂ නායකත්වයේ මෙහෙයවීම යටතේ සංවිධානය කර ඇති මෙම සංවත්සර උළෙල, පක්ෂයේ ඉදිරි ප්‍රතිසංවිධාන කටයුතු සහ ජාතික මට්ටමේ දේශපාලන උපායමාර්ග පුනර්ජීවනය කිරීමේ තීරණාත්මක ආරම්භයක් වනු ඇතැයි දේශපාලන විචාරකයෝ මත පළ කරති.
රට මුහුණ දී ඇති වත්මන් ආර්ථික හා සමාජීය අර්බුද හමුවේ, විකල්ප දේශපාලන ප්‍රවේශයන් සහ ප්‍රතිපත්තිමය සංවාදයන් ඉදිරියට ගෙන යාමට එක්සත් ජාතික පක්ෂය ගන්නා උත්සාහය ඉදිරි දේශපාලන අනාගතය තීරණය කිරීමෙහිලා සුවිශේෂී බලපෑමක් එල්ල කරනු ඇත. අද දින පැවැත්වෙන 80 වැනි සංවත්සර සැමරුම හරහා පක්ෂයේ සාමාජිකයින් සහ පාක්ෂිකයන් යළි එකමුතු කරමින්, රටේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් සහ ආර්ථික ස්ථාවරත්වය සුරක්ෂිත කිරීම වෙනුවෙන් නව ජවයකින් යුතුව පියවර තැබීමට පක්ෂ මූලස්ථානය සූදානම් වෙමින් සිටී.
















