මාතෘභූමිය වෙනුවෙන් දිවිපිදූ රණවිරුවන්ගේ ගුණ සමරමින්, රණවිරු සේවා අධිකාරියේ සභාපති බ්‍රිගේඩියර් එස්.බී.කොහොන (විශ්‍රාමික) මහතාගේ මාර්ගෝපදේශය මත ගලෙන්බිඳුනුවැව රණවිරු සංසදයේ පූර්ණ දායකත්වයෙන් සංවිධානය කළ විශේෂ ලේ දන් දීමේ වැඩසටහනක් පසුගිය (04) වනදා ගලෙන්බිඳුනුවැව ප්‍රාදේශීය සභා ශ්‍රවනාගාරයේදී සාර්ථකව පවත්වා තිබේ. යාපනය ලේ බැංකුව වෙනුවෙන් ක්‍රියාත්මක වූ මෙම වැඩසටහන, අනුරාධපුරයේ සිට යාපනය දක්වා විහිදුණු අතිශය සංවේදී මෙන්ම ආදර්ශමත් සෙනෙහසේ පාගමනක් බඳු විය.
මෙම පුණ්‍යකර්මයේ විශේෂත්වය වන්නේ, අතීත යුද වේදනාවන් සිරුරේ දරා සිටින ආබාධිත රණවිරුවන් සහ රණවිරු පවුල්වල සාමාජිකයන් විසින් උතුරේ සහෝදර ජනතාවගේ ජීවිත බේරාගැනීම වෙනුවෙන් ස්වකීය රුධිරය පරිත්‍යාග කිරීමයි. ජාති හා ආගම් භේදයෙන් තොරව මිනිස් ජීවිතයක ඇති වටිනාකම කියාපාමින්, අතීතයේ උණ්ඩ හුවමාරු වූ බිම්වල සැබෑ ජාතික සංහිඳියාවේ අර්ථය ලොවටම පසක් කිරීමට මොවුන් සමත්ව ඇත. මෙම අවස්ථාව සඳහා යාපනය රෝහලේ ලේ බැංකුවේ වෛද්‍යවරුන්, කාර්ය මණ්ඩලය, අනුරාධපුර රණවිරු දිස්ත්‍රික් නිලධාරීන් සහ රණවිරු සංසදයේ සාමාජිකයන් විශාල පිරිසක් එක්ව සිටියහ.
















