ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ ජ්‍යෙෂ්ඨ නියෝජිත පිරිසක් සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර විශේෂ හමුවක් ජනාධිපති කාර්යාලයේදී පවත්වනු ලැබීය. ඉදිරි කාලයේදී ක්‍රියාත්මක කිරීමට නියමිත සංවිධාන කටයුතු සහ මෙරට බාලදක්ෂ ව්‍යාපාරයේ ප්‍රවර්ධන කටයුතු සම්බන්ධයෙන් මෙහිදී පුළුල් ලෙස සාකච්ඡා කර ඇත.
විශේෂයෙන්ම ලබන වසරේ ජනවාරි මස ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට නියමිත එකොළොස්වන ජාතික බාලදක්ෂ ජම්බෝරියේ වත්මන් ප්‍රගතිය සහ සූදානම පිළිබඳව ජනාධිපතිවරයා මෙහිදී දැනුවත් කර තිබේ. මෙම හමුවට සමගාමීව, ජාතික බාලදක්ෂ ජම්බෝරියේ නිල ලාංඡනය ජනාධිපතිවරයා වෙත පිළිගන්වා නිල වශයෙන් එළිදැක්වීමද සිදු විය. බාලදක්ෂ ව්‍යාපාරය තවත් පාසල් රැසක් වෙත පුළුල් කිරීමේ අවශ්‍යතාව අවධාරණය කළ ජනාධිපතිවරයා, රජය විසින් ක්‍රියාවට නංවා ඇති මත්ද්‍රව්‍ය මර්දන සහ නිවාරණ වැඩසටහන් සාර්ථක කර ගැනීම සඳහා බාලදක්ෂ සංගමයෙන් ලැබිය හැකි දායකත්වය අතිශය වැදගත් වන බවද පෙන්වා දුන්නේය.














