විදේශ රටවලින් භාණ්ඩ ආනයනය කරන බව පවසමින් නීතිවිරෝධී අන්දමින් විදෙස් රටවලට මූල්‍ය ප්‍රේෂණ යැවීමේ ජාවාරමකට සම්බන්ධ ප්‍රධාන පෙළේ සැකකරුවෙකු මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව සැප්තැම්බර් 17 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ. ශ්‍රී ලංකා රේගුව විසින් කරන ලද පැමිණිල්ලකට අනුව මෙම විමර්ශන ක්‍රියාත්මක කර ඇති අතර, මීට පෙරද මෙම සිද්ධියට අදාළ සැකකරුවන් පිරිසක් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.
මරදාන ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන මෙම සැකකරු විසින් රූපලාවණ්‍ය භාණ්ඩ ගෙන්වන බවට අසත්‍ය ලේඛන සකස් කරමින්, රාජ්‍ය හා පෞද්ගලික බැංකු හරහා විදෙස් රටවල් වෙත මුදල් යවා ඇති බව විමර්ශනවලදී අනාවරණය වී තිබේ. විවිධ සමාගම් සහ බැංකු ගිණුම් ආරම්භ කිරීම සඳහා වෙනත් පුද්ගලයන් යොදාගනිමින් මෙම ජාවාරම සූක්ෂ්ම ලෙස ක්‍රියාත්මක කර ඇති අතර, ටෙලිග්රැෆික් ට්‍රාන්ස්ඇක්ෂන් හෙවත් ටීටී (TT) ක්‍රමය ඔස්සේ අදාළ මුදල් විදේශයන් වෙත ප්‍රේෂණය කර ඇත.
අධිකරණයේදී කරුණු දක්වමින් රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතීඥවරයා සඳහන් කළේ අදාළ සමාගම් මඟින් කිසිදු භාණ්ඩයක් මෙරටට ගෙන්වා නොමැති අතර, ඉදිරිපත් කර ඇති සියලුම ලේඛන කූඨ ඒවා බවයි. කෙසේ වෙතත්, සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා ප්‍රකාශ කළේ අදාළ මුදල් පිටකොටුවේ ව්‍යාපාරිකයන්ට අයත් වන ඒවා බවත්, පවතින පද්ධතිමය ගැටළු හේතුවෙන් ඇතැම් ව්‍යාපාරික කටයුතු සිදුවන බවත්ය. කෙසේ වෙතත්, මෙම ජාවාරම පිටුපස සිටින සෙසු පුද්ගලයන් සහ අරමුදල් ලැබුණු මූලාශ්‍ර සොයා මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් පුළුල් පරීක්ෂණයක් අඛණ්ඩව ක්‍රියාත්මක කරනු ලබයි.














