ජපානයේ නගෝයා නුවර පැවැත්වෙන 20 වැනි ආසියානු ක්‍රීඩා උළෙල සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 156 දෙනෙකු සහ නිලධාරීන් 82 දෙනෙකු ඇතුළු 238 දෙනෙකුගෙන් යුත් දැවැන්ත කණ්ඩායමක් සහභාගී වීමත් සමඟ මෙරට ක්‍රීඩා ක්ෂේත්රය තුළ දැඩි කතාබහක් නිර්මාණය වී තිබේ. ලබන 13 වැනිදා සිට ආරම්භ වන මෙම තරගාවලිය සඳහා මෙරට ක්‍රීඩකයන් තරග ඉසව් 25ක් යටතේ තරග වැදීමට සූදානම් වන අතර, ක්‍රීඩා ඉතිහාසයේ දෙවැනි විශාලතම කණ්ඩායම ලෙස සැලකෙන මෙම සංචාරයේදී ක්‍රීඩක සංයුතියට සාපේක්ෂව අතිවිශාල නිලධාරීන් පිරිසක් ඇතුළත් කිරීම මතභේදයට ලක්ව ඇත.
ජාතික ඔලිම්පික් කමිටුවේ ප්‍රධානීන් සහ විධායක සභිකයන් මෙන්ම පසුගිය නිලවරණයේදී වත්මන් පාලනාධිකාරියට සහාය පළ කළ විවිධ ක්‍රීඩා සංගම් ප්‍රධානීන් සඳහා නව තනතුරු පිරිනමමින් මෙම සංචාරයට අවස්ථාව සලසා දී ඇති බව වාර්තා වේ. ක්‍රීඩා අමාත්‍යාංශයේ මූලික අනුග්‍රහය යටතේ ක්‍රියාත්මක වන මෙම සංචාරය සඳහා සහභාගී වන සමස්ත පිරිසේ ගුවන් ප්‍රවේශපත්‍ර සඳහා පමණක් රුපියල් කෝටි 8කට ආසන්න මුදක් වැය වන බව හෙළිවීමත් සමඟ, ආර්ථික අර්බුදයකින් ගොඩ ඒමට උත්සාහ කරන රටක රාජ්‍ය අරමුදල් මෙලෙස පරිහරණය කිරීම සම්බන්ධයෙන් බරපතළ ප්‍රශ්න මතුව තිබේ.
ජාත්‍යන්තර ක්‍රීඩා උළෙලක් නියෝජනය කරමින් මෙරට කීර්තිය ඉහළ නැංවීම අත්‍යවශ්‍ය වුවද, ක්‍රීඩකයන්ට වඩා නිලධාරීන් සංචාරයට ඇතුළත් කිරීම සහ මූල්‍ය අපතේ යාම් පිළිබඳව සමාජ හා ක්‍රීඩා සමාජ තුළින් එල්ල වන දැඩි විවේචන ඉදිරියේදී ක්‍රීඩා පාලන තන්ත්රයේ වගවීම සහ විනිවිදභාවය පිළිබඳ පුළුල් සංවාදයකට මඟපාදනු ඇත. මෙවැනි තත්ත්වයන් හමුවේ ක්‍රීඩා අමාත්‍යාංශය සහ අදාළ ජාතික ආයතන විසින් අනාගතයේදී ජාත්‍යන්තර තරගාවලි සඳහා කණ්ඩායම් තෝරා ගැනීමේදී වඩාත් විධිමත් හා කාර්යක්ෂම ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමේ දැඩි අවශ්‍යතාවක් මතුව තිබේ.
















