රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ DNA පරීක්ෂණ ධාරිතාව තවදුරටත් වැඩිදියුණු කිරීමේ අරමුණින් එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ මැදිහත්වීමෙන් නවීන පරීක්ෂණ උපකරණ තොගයක් බත්තරමුල්ල, ඉසුරු මාවතේ පිහිටි දෙපාර්තමේන්තු පරිශ්‍රයේදී නිල වශයෙන් භාරදී තිබේ. එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ මෙරට නිත්‍ය නියෝජිත අසුසා කුබෝටා මහත්මිය විසින් මෙම උපකරණ රජයේ රස පරීක්ෂක කාමිණි පෙරේරා මහත්මිය වෙත භාරදෙනු ලැබ ඇත්තේ අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙනි. ආර්.ටී.-පී.සී.ආර්. යන්ත්‍රයක්, පී.සී.ආර්. පද්ධතියක් සහ ‘ක්‍රයිම් ලයිට් සිරෝලොජි කට්’ ඇතුළු නවීන උපකරණ රැසක් මෙලෙස ලබා දී ඇති අතර, ජීව විද්‍යාත්මක සාක්ෂි නිවැරදිව විශ්ලේෂණය කරමින් නඩු කටයුතුවල ප්‍රමාදයන් අවම කිරීම මෙහි මූලික අපක්ෂාවයි. මීට අමතරව, මත්ද්‍රව්‍ය සම්බන්ධ රස පරීක්ෂක වාර්තා මාස තුනකට අඩු කාලයක් තුළ නිකුත් කිරීමට අවශ්‍ය පියවර ගෙන ඇති බවද අමාත්‍යවරයා මෙහිදී සඳහන් කර ඇත.














