එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයට සමගාමීව නිව්යෝර්ක්හි පැවති හමුවකින් අනතුරුව G7 විදේශ අමාත්‍යවරුන් යේමනයේ හූතිවරුන් සෞදි අරාබියට එල්ල කරන ප්‍රහාර ඇතුළු හමුදා ක්‍රියාමාර්ග වහාම නතර කරන ලෙස ඉල්ලා තිබේ.
එමෙන්ම සිවිල් නාවික යාත්‍රාවලට එල්ල කරන තර්ජන සහ ප්‍රහාර නතර කර දේශපාලන ක්‍රියාවලියකට යළි එක්වන ලෙසද G7 රටවල් හූතිවරුන්ගෙන් ඉල්ලා ඇත. මෙම තත්ත්වය රතු මුහුද සහ බාබ් අල් මන්දබ් සමුද්‍ර මාර්ගයේ නාවික ආරක්ෂාවටද බලපෑම් ඇති කරන බව G7 ප්‍රකාශයේ සඳහන් වේ.
මේ අතර ඉරානය හූතිවරුන්ට අවි සැපයීම සහ සහාය දැක්වීම නතර කරන ලෙසද G7 විදේශ අමාත්‍යවරුන් ඉල්ලා තිබේ. G7 ප්‍රකාශයට අනුව එවැනි සහාය කලාපීය ගැටුම් උත්සන්න කිරීමටත් ජාත්‍යන්තර වෙළඳාමට හා ගෝලීය ආර්ථික ස්ථාවරත්වයට බලපෑම් කිරීමටත් අවදානමක් ඇති කරයි.
















