මෙරට බලශක්ති ක්ෂේත්රයේ දිගුකාලීන අර්බුදවලට ස්ථිර විසඳුම් සෙවීමේ අරමුණින් මන්නාරම් ද්‍රෝණියේ වර්ග කිලෝමීටර් 32,000 ක භූමි ප්‍රදේශය ඉලක්ක කරගනිමින් ස්වාභාවික වායු ගවේෂණ කටයුතු කඩිනම් කිරීමට රජය තීරණය කර ඇති අතර, ඒ සමඟම විදුලි බිල්පත් නිකුත් කිරීමේ ක්‍රමවේදය නවීකරණය කරමින් පාරිභෝගිකයන් සඳහා ‘ස්මාර්ට් මීටර්’ සවිකිරීමේ පුළුල් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව විදුලිබල නියෝජ්‍ය අමාත්‍ය අක්රම් ඉල්යාස් මහතා ප්‍රකාශ කර තිබේ. පසුගිය දශක කිහිපය තුළ විවිධ ගිවිසුම්ගත සමාගම්වල අක්රීයතාව හේතුවෙන් අඩපණ වී තිබූ මෙම ගවේෂණ ව්‍යාපෘතිය, ආසියානු සංවර්ධන බැංකුවේ මූල්‍ය ආධාර යටතේ සහ ජාත්‍යන්තර ආයෝජකයන් ආකර්ෂණය කර ගනිමින් නැවත පණ ගැන්වීමට නියමිතය.
සියයට 70 කට අධික සම්භාවිතාවකින් යුත් ස්වාභාවික වායු නිධි මෙරට මුහුදු සීමාවේ පවතින බවට මූලික දත්ත මඟින් අනාවරණය වී ඇති පසුබිමක, ගැඹුරු මුහුදේ කැණීම් සඳහා අවශ්‍ය අතිවිශාල පිරිවැය සහ තාක්ෂණික අභියෝග ජය ගැනීම සඳහා ඉදිරි වසරක් තුළ නව බලපත්‍ර 08ක් නිකුත් කිරීමට අපේක්ෂා කෙරේ. වාර්ෂිකව මෙරට මුහුදු සීමාව හරහා ගමන් ගන්නා නෞකා 50,000 කට ආසන්න සංඛ්‍යාවක් වෙත ඉන්ධන සැපයීම හරහා දැවැන්ත විදේශ විනිමයක් රටට දිනා ගැනීමටත්, එමඟින් මෙරට ඉන්ධන ආනයන වියදම සැලකිය යුතු ලෙස අවම කර ගනිමින් දේශීය කර්මාන්ත ක්ෂේත්රයට ඉමහත් ප්රතිලාභ අත්වැටීමටත් මෙම ක්‍රමෝපාය හරහා මගපෑදෙනු ඇත.
මෙම සමස්ත බලශක්ති ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය හරහා මෙරට ආර්ථිකයට සහ බලශක්ති සුරක්ෂිතතාවට දිගුකාලීන ස්ථාවරත්වයක් ගෙන ඒමට අපේක්ෂා කරන අතර, ස්මාර්ට් මීටර් හඳුන්වා දීම සහ දේශීය සම්පත් නිසි ලෙස භාවිත කිරීම මඟින් විදුලි පාරිභෝගිකයන්ට මෙන්ම සමස්ත රටටම වඩාත් කාර්යක්ෂම සහ විනිවිදභාවයකින් යුත් සේවාවක් අත්කර දීමට රජය දැඩි අවධානයක් යොමු කර තිබේ.














