ජාත්‍යන්තර මට්ටමේ කීර්තිමත් රූ රැජින තරගාවලිද්වයක් සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් නිරූපණ ශිල්පිනියන් දෙදෙනෙකු කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළින් අද අලුයම දිවයිනෙන් පිටත්ව ගියහ. ඒ අනුව, ලෝකයේ රටවල් පනහක නියෝජිතයන්ගේ සහභාගීත්වයෙන් පිලිපීනයේ ෂීබූ නුවර පැවැත්වෙන ‘මිස් ඒෂියා ෆැසිපික් ඉන්ටර්නැෂනල්’ තරගාවලිය සඳහා සන්දීපා සෙව්මිණි මෙනවිය ද, රටවල් තිස්දෙකක තරගකාරියන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන 12 වන ලෝක විවාහක සංචාරක රූ රැජින තරගාවලිය වෙනුවෙන් නිමේෂා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ද මෙලෙස දිවයින අතහැර ගියහ.
මෙම ජාත්‍යන්තර තරගාවලි සඳහා මෙරට නියෝජනය කරමින් සහභාගී වන මෙම නිරූපණ ශිල්පිනියන් වෙත ශක්තියක් වීම පිණිස අදාළ තරගාවලි දෙකෙහි ජාතික අධ්යක්ෂ රුක්මාල් සේනානායක මහතා ඇතුළු පිරිසක් සහ ඔවුන්ගේ පවුල්වල සමීප ඥාතීන් පිරිසක් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියහ. සංස්කෘතික හුවමාරුවක් සහ ජාත්‍යන්තර වේදිකාවක මෙරට නාමය ඉන් ඔබ්බට රැගෙන යාමේ අරමුණින් මෙම නියෝජනයන් සිදු වන අතර, එය ශ්‍රී ලාංකික නිරූපණ ක්ෂේත්රයේ ඉදිරි ගමනට මෙන්ම සංචාරක ප්‍රවර්ධනයටද වැදගත් සන්ධිස්ථානයක් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
ජාත්‍යන්තර තරගබිම තුළ ශ්‍රී ලංකාවේ නාමය බබළවමින් ඉදිරි දින කිහිපය තුළ ක්‍රියාත්මක වන මෙම තරගාවලි සඳහා සහභාගී වන ශ්‍රී ලාංකික නියෝජිතයන්ට මෙරට කලා හා නිරූපණ ක්ෂේත්රයේ දැඩි අවධානයක් යොමු වී තිබේ. රටවල් රැසක ප්‍රතිවාදීන් හමුවේ දැඩි තරගකාරී ස්වභාවයක් ගන්නා මෙම කිරුළ තහවුරු කරගැනීමේ මෙහෙයුමේදී ඔවුන් දක්වන දක්ෂතා මත මෙරට කීර්තිය අන්තර්ජාතික මට්ටමෙන් ඉහළට ඔසවා තැබීමට හැකි වනු ඇතැයි අපේක්ෂා කළ හැකිය.














