ගල්ගමුව ප්‍රදේශයේ සැරිසරන ‘කාවන්තිස්ස’ ඇතාගේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් මතුවූ දැඩි ආන්දෝලනය හමුවේ, වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ මැදිහත්වීමෙන් එම ඇතාට අවශ්‍ය කඩිනම් වෛද්‍ය ප්‍රතිකාර ආරම්භ කර තිබේ.
නිකවැරටිය පශු වෛද්‍ය පුබුදු මහත්මිය ප්රමුඛ වනජීවි විශේෂඥ කණ්ඩායමක් උස්ගල සියඹලාන්ගමුව වැව ආශ්රිත ප්‍රදේශයේදී ඊයේ (24) උදෑසන දියත් කළ විශේෂ මෙහෙයුමකින් අනතුරුව මෙම ප්‍රතිකාර ක්‍රියාවලිය ආරම්භ කර ඇති අතර, පරිසර අමාත්‍ය ධම්මික පටබැඳි සහ අමාත්‍යාංශ ලේකම්වරයාගේ සෘජු මඟපෙන්වීම මත පශු වෛද්‍ය අධ්‍යක්ෂිකා වෛද්‍ය ගංගා මහත්මියගේ උපදෙස් අනුව මෙම මෙහෙයුම ක්‍රියාත්මක වේ. වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ පශු වෛද්‍යවරුන් සහ විශේෂඥ කණ්ඩායම් එක්ව වනජීවි සම්පත් සංරක්ෂණය සහ වන අලි සුබසාධනය තහවුරු කිරීම වෙනුවෙන් මෙවැනි කඩිනම් ආයතනික මැදිහත්වීම් සිදුකිරීම ජාතික මට්ටමින් අතිශයින් වැදගත් වන අතර, එය වනජීවි සංරක්ෂණ ක්‍රියාවලියේ නව හැරවුම් ලක්ෂ්‍යයක් ලෙසද හඳුනාගත හැකිය.
ඉදිරියටත් කාවන්තිස්ස ඇතාගේ සෞඛ්‍ය තත්ත්වය සහ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා වනජීවි නිලධාරීන් විසින් නිරන්තර අධීක්ෂණ ක්‍රමවේද අඛණ්ඩව ක්‍රියාත්මක කරනු ලබන අතර, මෙවැනි වන සතුන් ආරක්ෂා කරගැනීම සඳහා රජය සහ අදාළ අංශ මගින් තවදුරටත් පුළුල් හා දීර්ඝකාලීන ක්‍රියාමාර්ග අනුගමනය කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.














