ඉස්ලාම් දහමට අපහාස කිරීම සම්බන්ධයෙන් වරදකරු කර නියම කර ඇති සිරදඬුවම ක්‍රියාත්මක නොකිරීමට හේතුවක් ඇත්නම් ලබන ඔක්තෝබර් 01 වැනිදා අධිකරණය හමුවේ කරුණු දක්වන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ළහිරු සිල්වා මහතා පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට නියෝග කර තිබෙනවා.
අදාළ පැමිණිල්ල ඊයේ (24) අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී ඥානසාර හිමියන් අධිකරණයේ පෙනී සිට නොසිටි අතර, උන්වහන්සේ අසනීප තත්ත්වයෙන් පසුවීම හේතුවෙන් අධිකරණයට පැමිණීමට නොහැකි වූ බව ජනාධිපති නීතිඥ අනුර මැද්දෙගොඩ මහතා අධිකරණයට දැනුම් දී තිබුණා.
එහිදී ඥානසාර හිමියන් වෙනුවෙන් කරුණු දක්වමින් ජනාධිපති නීතිඥවරයා සඳහන් කර ඇත්තේ මහේස්ත්‍රාත් අධිකරණය ලබාදුන් තීන්දුවට එරෙහිව ඉදිරිපත් කළ ප්රතිශෝධන අයැදුම්පත මහාධිකරණය විසින් ප්‍රතික්ෂේප කිරීමෙන් අනතුරුව, ඒ සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියාචනයක් ගොනු කර ඇති බවයි.
එම අභියාචනය සලකා බලා අවසන් වන තෙක් සිරදඬුවම ක්‍රියාත්මක කිරීම අත්හිටුවන ලෙසද නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා තිබෙනවා.
කෙසේ වෙතත්, එම කරුණු විත්තිකාර ඥානසාර හිමියන් අධිකරණය හමුවේ පෙනී සිටීමෙන් අනතුරුව ඉදිරිපත් කරන ලෙස අතිරේක මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබෙනවා. ඒ අනුව සිරදඬුවම ක්‍රියාත්මක නොකිරීමට හේතු ඇත්නම් ලබන ඔක්තෝබර් 01 වැනිදා අධිකරණය හමුවේ කරුණු ඉදිරිපත් කරන ලෙස නියෝග කර ඇති බව සඳහන්.
2016 ජූලි 16 වැනිදා කිරුළපන ප්‍රදේශයේ පැවති ප්රවෘත්ති සාකච්ඡාවකදී ජාතීන් අතර සංහිඳියාවට බලපාන ආකාරයෙන් කටයුතු කළ බවට චෝදනා කරමින් දණ්ඩ නීති සංග්‍රහයේ 291 වගන්තිය යටතේ පොලීසිය විසින් ඥානසාර හිමියන්ට එරෙහිව මෙම නඩුව පවරා තිබුණා.
දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව 2025 ජනවාරි 09 වැනිදා මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඥානසාර හිමියන්ට සිරදඬුවම නියම කර තිබෙනවා.














