දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ගාල්ල ගිං ගඟ හරහා පිහිටි වක්වැල්ල පාලම තුළ සිරවී තිබූ උණ පඳුරු සහ ශාක කොටස් ඉවත් කිරීමේ විශේෂ මෙහෙයුමක් නාවික හමුදාව විසින් වාරිමාර්ග දෙපාර්තමේන්තුව සමඟ එක්ව සාර්ථකව ක්‍රියාත්මක කර තිබේ. අධික වර්ෂාවත් සමඟ ජල පහරට හසුව ගසාගෙන පැමිණි දැව කඳන් සහ කැළිකසළ පාලම තුළ සිරවීමෙන් ජලය බැසයාමට බාධා මතුවී තිබිණි.
දකුණු නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් එච්එන්එස් පෙරේරා මහතාගේ අධීක්ෂණය යටතේ මෙම මෙහෙයුම සිදු කර ඇත. විධාන කිමිදුම් හා ගලවා ගැනීමේ ඒකකය සහ ශ්‍රී ලංනානෞ දක්ෂිණ ආයතනයට අනියුක්ත විශේෂ යාත්‍රා බලගණය, ක්ෂණික යාත්‍රා බලගණය ඇතුළු පාර්ශ්වයන් එක්ව මහත් පරිශ්‍රමයක් යොදා පාලම තුළ සිරවී තිබූ අවශේෂ ඉවත් කර ජලය ක්‍රමවත්ව බැසයාමට අවශ්‍ය කටයුතු යළි සකස් කර තිබේ.
















