පලස්තීනය සහ ඉරානය සම්බන්ධයෙන් ජාත්‍යන්තර ප්‍රජාව තවදුරටත් ක්‍රියාශීලී විය යුතු බව ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය ඇන්තනි ඇල්බනීස් අවධාරණය කර තිබේ. එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 81 වැනි සැසිය නිව්යෝර්ක් නුවරදී අමතමින් ඔහු මේ බව සඳහන් කළේය.
අත්පත් කරගෙන ඇති බටහිර ඉවුරේ ඊශ්‍රායල ජනාවාසවලට ඔස්ට්‍රේලියාව තවදුරටත් විරෝධය පළ කරන බවත්, පලස්තීනයේ අනාගත පාලනය තුළ හමාස් සංවිධානයට කිසිදු භූමිකාවක් නොතිබිය යුතු බවත් ඔහු ප්‍රකාශ කළේය. ඊශ්‍රායලය සහ පලස්තීනය සඳහා සාමය සහ ආරක්ෂාව තහවුරු කළ හැකි එකම මාර්ගය ද්වි-රාජ්‍ය විසඳුම බව ද හෙතෙම පෙන්වා දුන්නේය. මේ අතර මැදපෙරදිග ගැටුම් හේතුවෙන් ගෝලීය ආර්ථිකයට එල්ල වී ඇති බලපෑම් පිළිබඳව අදහස් දක්වමින්, සටන් විරාමයක් ඇති කිරීම, හෝර්මුස් සමුද්‍ර සන්ධිය යළි විවෘත කිරීම මෙන්ම න්‍යෂ්ටික අවි ලබාගැනීමේ වැඩසටහන් අත්හරින ලෙස ඇල්බනීස් මහතා ඉරානයෙන් ඉල්ලා සිටියේය.
















