රුපියල් 9,08,000ක් පමණ වටිනා යන්ත්ර කොටස් සොරකම් කර අලෙවි කළ බවට සැක කෙරෙන පුද්ගලයන් දෙදෙනෙකු සහ එම භාණ්ඩ මිලදී ගත් බව කියන පුද්ගලයෙකු දකුණු කළුතර පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් දෙදෙනා 28 සහ 15 හැවිරිදි වයස්වල පසුවන එකම පවුලේ ඥාතීන් බවත්, භාණ්ඩ මිලදී ගත් බව කියන පුද්ගලයා 43 හැවිරිදි අයෙකු බවත් වාර්තා වේ. ඔවුන් සියලුදෙනා කළුතර, කිතුලාව, ලාගෝස්වත්ත ප්රදේශයේ පදිංචිකරුවන් බව සඳහන්ය.
යාන්ත්රික කොටස් නිෂ්පාදනය හා අලුත්වැඩියා කටයුතු සිදුකරන පුද්ගලයෙකු විසින් කළ පැමිණිල්ලකට අනුව විමර්ශන ආරම්භ කර තිබේ. අලුයම 3.15ට පමණ ශබ්දයක් ඇසීමෙන් පසු තම පුත්රයා සමඟ ගොස් පරීක්ෂා කිරීමේදී පුද්ගලයන් දෙදෙනෙකු යන්ත්ර කොටස් පොහොර උරවලට දමමින් සිටිනු දැක ඇති බව පැමිණිල්ලේ සඳහන් බව වාර්තා වේ.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරන අතර, සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ බව වාර්තාවේ සඳහන් වේ.
















