ඇලහැර ප්‍රදේශයේ ලොකු ලූනු වගාකරුවන් මේ දිනවල පවතින වර්ෂා තත්ත්වය හේතුවෙන් අස්වනු අලෙවි කරගැනීමේ ගැටලුවකට මුහුණ දී සිටින බව පවසති.
ගම්මාන වෙත පැමිණ ලොකු ලූනු මිලදී ගන්නා වෙළෙඳුන්ගේ පැමිණීම අඩුවීම හේතුවෙන් අස්වනු දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය වෙත රැගෙන යාමට සිදුව ඇති බව ගොවීහු සඳහන් කරති. සරුබිම, ජයසිරිපුර, බටුහේන, නිකපිටිය සහ සැඟල ඇතුළු ප්‍රදේශවල සිට කිලෝමීටර් 35කට ආසන්න දුරක් අස්වනු ප්‍රවාහනය කිරීමට සිදුවීමෙන් අමතර වියදමක් දැරීමට සිදුව ඇති බවද ඔවුහු පවසති.
ගොවීන් සඳහන් කරන පරිදි, පසුගිය යල් කන්නයේදී ඇලහැර ප්‍රදේශයේ අක්කර 200කට ආසන්න භූමි ප්‍රමාණයක ලොකු ලූනු වගා කර තිබුණද, අපේක්ෂිත මිලක් නොලැබීම හේතුවෙන් මෙවර වගා ප්‍රමාණය සැලකිය යුතු ලෙස අඩු වී තිබේ. මේ වනවිට කිලෝවක් රුපියල් 200කට ආසන්න මිලකට අලෙවි කළ හැකි වුවද, පොහොර, කෘමිනාශක සහ කම්කරු වියදම් ඉහළ යාම හේතුවෙන් වගාවෙන් ප්‍රමාණවත් ආදායමක් ලබාගැනීම අසීරු බවද ගොවීහු පවසති.
අස්වනු අලෙවි කරගැනීමට මතුව ඇති ගැටලුවට කඩිනම් විසඳුමක් ලබාදීම සඳහා බලධාරීන් මැදිහත් විය යුතු බව බකමූණ සරුබිම ප්‍රදේශයේ ලොකු ලූනු ගොවීහු ඉල්ලා සිටිති.
















