අධික වර්ෂාවත් සමඟ නිල්වලා ගඟ පිටාර ගැලීම හේතුවෙන් අකුරැස්ස–පස්ගොඩ මාර්ගයේ පාන්දුගම ප්‍රදේශය යළිත් ජලයෙන් යටවී ගමනාගමනයට බාධා එල්ල වී තිබේ.
ප්‍රදේශවාසීන් පවසන්නේ මෙම තත්ත්වය වසර 40ක පමණ කාලයක සිට පවතින අතර, නිල්වලා යෝජනා ක්‍රමය ආශ්‍රිත ගැටලු හේතුවෙන් තත්ත්වය උග්‍ර වී ඇති බවයි. එහි ප්‍රතිඵලයක් ලෙස දිනපතා රැකියා සඳහා ගමන් කරන ජනතාව, වාහන හිමියන් සහ විශේෂයෙන් පාසල් සිසුන් දැඩි අපහසුතාවට පත්වන බවද ඔවුහු පෙන්වා දෙති.
ප්‍රදේශවාසීන් වැඩිදුරටත් පවසන්නේ මේ සම්බන්ධයෙන් පසුගිය ජනාධිපතිවරුන් කිහිපදෙනෙකු දැනුවත් කර තිබුණද මේ දක්වා ස්ථිර විසඳුමක් ලැබී නොමැති බවයි. ඒ අනුව වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගෙන් ඔවුන් ඉල්ලා සිටින්නේ දීර්ඝ කාලයක් තිස්සේ පවතින මෙම ගංවතුර ගැටලුවට ස්ථිර විසඳුමක් ලබාදෙන ලෙසයි.
මේ අතර, පසුගියදා නිල්වලා ගඟ දෙපස පිරිසිදු කිරීමේ කටයුතු සිදුකිරීම හේතුවෙන් වර්ෂාවෙන් පසුව ජලය බැස යාමට යම් පහසුවක් ලැබුණු බවද ප්‍රදේශවාසීහු සඳහන් කරති.















