ඇමෙරිකාව සහ ඊශ්‍රායලය සමඟ පවතින ගැටුම විසඳාගැනීමට රාජ්‍යතාන්ත්‍රික ක්‍රමවේදයක් පමණක් උපකාරී වන බව ඉරානය අවධාරණය කර තිබේ. ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරානය විසින් ඉදිරිපත් කළ සාම යෝජනාව ප්‍රතික්ෂේප කළ බව ප්‍රකාශ කිරීමෙන් අනතුරුව ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි මේ බව සඳහන් කර ඇත.
හෝමුස් සමුද්‍ර සන්ධිය යළි විවෘත කිරීම සම්බන්ධයෙන් ඉරානයේ කොන්දේසි පැහැදිලි බවත්, එම කොන්දේසි සපුරාලීමෙන් පසුව පමණක් සමුද්‍ර සන්ධිය විවෘත කිරීම පිළිබඳ ඉදිරියට යා හැකි බවත් අරග්චි ප්‍රකාශ කර තිබේ. ඔහු පෙන්වා දෙන්නේ පවතින අර්බුදයෙන් මිදීමට සාකච්ඡා මාර්ගයෙන් ලබාගන්නා එකඟතාවක් අවශ්‍ය බවයි.
ඉරානය පසුගිය සතියේ නිව්යෝර්ක්හි පැවති එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසියේදී සාම යෝජනාවක් ඉදිරිපත් කර ඇති අතර, එය කටාර් මැදිහත්කරුවන් හරහා ඇමෙරිකාව වෙත යොමු කළ බව සඳහන් කර තිබේ. කෙසේ වෙතත්, ට්‍රම්ප් පවසා ඇත්තේ එම යෝජනාව තමන් ප්‍රතික්ෂේප කළ බවයි. එහෙත් මැදිහත්කරුවන් විසින් තමන් වෙත ඇමෙරිකාවේ අවසන් ප්‍රතිචාරය නිල වශයෙන් දැනුම් දී නොමැති බව අරග්චි පවසයි.
මේ අතර, ඉරානය සහ ඇමෙරිකාව අතර පවතින ගැටුම හේතුවෙන් හෝමුස් සමුද්‍ර සන්ධියේ නාවික ගමනාගමනය සහ ගෝලීය බලශක්ති සැපයුම සම්බන්ධයෙන්ද දැඩි අවධානයක් යොමුව තිබේ.
















