බුද්ධ ශාසනයට ආණ්ඩුක්රම ව්යවස්ථාවෙන් හිමි කර දී ඇති ප්රමුඛස්ථානය නිසි ලෙස ක්රියාත්මක නොවන බව පවසමින්, ඊට අදාළ නීතිරීති හා රෙගුලාසි වර්තමානයට ගැළපෙන පරිදි යාවත්කාලීන කළ යුතු බව විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා සඳහන් කරයි.
කඹුරුපිටිය සපුගොඩ ඉලංගම්ගොඩ පුරාණ රජමහා විහාරස්ථානය ඇතුළු විහාර ගණයෙහි අධිපති, ශ්යාමෝපාලි මහා නිකායේ ශ්රී රෝහණ පාර්ශ්වයේ ජ්යෙෂ්ඨ අනුනායක අග්ගමහා පණ්ඩිත පූජ්ය ඕමාරේ කස්සප අනුනායක හිමියන් බැහැදැකීමට ගිය අවස්ථාවේදී විපක්ෂ නායකවරයා මේ බව ප්රකාශ කර තිබේ.
එහිදී අදහස් දැක්වූ සජිත් ප්රේමදාස මහතා සඳහන් කළේ බුද්ධාගමට මෙන්ම සෙසු ආගම් සහ ජාතීන්ටද නිසි ගෞරවය හා ස්ථානය ලබාදිය යුතු බවයි. එසේම මහා සංඝරත්නයේ චීවරයට සෑම විටම ගෞරව කළ යුතු බවත්, භික්ෂූන් වහන්සේලාගේ සිවුර ගැලවීමට ගිහියන්ට කිසිදු අයිතියක් නොමැති බවත් ඔහු අවධාරණය කළේය.
සති දෙකෙන් දෙකට කමිටු පත් කරමින් කල් දැමීම වෙනුවට, පැය 24ක් ඇතුළත තොරතුරු සොයා බලා චීවරයේ ගරුත්වය ආරක්ෂා වන පරිදි අවශ්ය රෙගුලාසිමය වෙනස්කම් සිදු කළ යුතු බවද විපක්ෂ නායකවරයා පැවසීය.
මේ සම්බන්ධයෙන් සමගි ජන බලවේගය යෝජනාවක් ඉදිරිපත් කර ඇති බව සඳහන් කළ ඔහු, අදාළ නීතිරීති වෙනස් කිරීම සඳහා විපක්ෂයක් ලෙස කළ හැකි උපරිම බලපෑම සිදු කරන බවද වැඩිදුරටත් කියා සිටියේය.














