විදේශ රැකියා අපේක්ෂා කරන තරුණ තරුණියන්ට නව රැකියා අවස්ථා හඳුන්වාදීම සහ ඒ සඳහා අවශ්ය මඟපෙන්වීම ලබාදීමේ අරමුණින් ශ්රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සංවිධානය කළ උතුරු පළාත් විදේශ රැකියා ප්රවර්ධන වැඩසටහන පසුගිය 10 වැනිදා යාපනය කනගරත්නම් මධ්ය මහා විද්යාලයේදී පැවැත්වුණි.
ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්ය රාමලිංගම් චන්ද්රසේකරන් මහතාගේ ප්රධානත්වයෙන් පැවති මෙම වැඩසටහනට විදේශ රැකියා නියෝජිත ආයතන, වෘත්තීය පුහුණු ආයතන සහ බැංකු ඇතුළු පාර්ශ්ව රැසක් එක්ව සිටියහ.
බලපත්රලාභී විදේශ රැකියා නියෝජිත ආයතන 20කට ආසන්න සංඛ්යාවක් මෙයට සහභාගී වූ අතර, යුරෝපය සහ මැදපෙරදිග ඇතුළු විදේශ රටවල පවතින රැකියා අවස්ථා පිළිබඳ තොරතුරු ලබාගැනීමට තරුණ තරුණියන්ට අවස්ථාව හිමි විය. එමෙන්ම තම අධ්යාපනික හා වෘත්තීය සුදුසුකම්වලට ගැළපෙන රැකියා හඳුනාගැනීමට සහ නියෝජිත ආයතන සමඟ සෘජුව සාකච්ඡා කිරීමටද අවස්ථාව සලසා තිබුණි.
මෙම වැඩසටහනට සමගාමීව ජපානයේ රැකියා අවස්ථා පිළිබඳ විශේෂ දැනුවත් කිරීමක්ද පැවැත්වුණි. එහිදී ජපානයේ රැකියා සඳහා යොමුවීමේ ක්රමවේදය සහ එරට පවතින රැකියා අවස්ථා පිළිබඳව තරුණ පිරිස් දැනුවත් කර තිබේ.
විදේශ රැකියාවල නිරතව සිට මෙරටට පැමිණි ශ්රී ලාංකිකයන්ගේ ස්වයං රැකියා නිෂ්පාදන අලෙවිය ප්රවර්ධනය කිරීමේ අරමුණින් විගමනික අලෙවිපොළක්ද මෙම වැඩසටහනට සමගාමීව සංවිධානය කර තිබුණි.














