පොළොන්නරුවේ ගිරිතලේ ජලාශයේ වැව් බැම්ම ආශ්රිතව වසර ගණනාවක් පුරා පැවති ජල කාන්දුවක් හඳුනාගෙන ඇති අතර, සිදුවිය හැකි විශාල අනතුරක් වළක්වා ගැනීම සඳහා ප්රතිසංස්කරණ කටයුතු කඩිනමින් සිදු කෙරෙමින් පවතී.
වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ අධීක්ෂණය යටතේ ආරම්භ කර ඇති මෙම කටයුතු සඳහා වාරිමාර්ග දෙපාර්තමේන්තුව සහ පුරාවිද්යා දෙපාර්තමේන්තුව එක්ව කටයුතු කරයි. ජල කාන්දුවට හේතු වූ පැරණි සොරොව්ව නැවත මතු කර ගනිමින් නඩත්තු කටයුතු සිදු කිරීම මෙහි විශේෂත්වයකි.
දෙවන අග්බෝ රජු විසින් ඉදිකරන ලද බව සැලකෙන සියවස් ගණනක් පැරණි මෙම ජලාශයේ ජල ධාරිතාව අක්කර අඩි 21,600කි. යල සහ මහ කන්න දෙකේදී ගොවිබිම් අක්කර 7,600කට පමණ ජලය සැපයීම සඳහා ගිරිතලේ ජලාශය දායක වේ.
ජලාශයේ ඓතිහාසික හා පුරාවිද්යාත්මක වටිනාකම් ආරක්ෂා කර ගනිමින් පැරණි වාරි පද්ධතිය ප්රතිසංස්කරණය කිරීම කෙරෙහිද අවධානය යොමු කර තිබේ. වැව් බැම්මට හානි සිදුවුවහොත් ප්රදේශයේ ජනතාවට, ගොවිබිම්වලට සහ වාරි පද්ධතියට බලපෑම් ඇතිවිය හැකි බැවින් මෙම ප්රතිසංස්කරණ කටයුතු වැදගත් වේ.
ජලාශයේ ජලය ආරක්ෂිතව රඳවා තබා ගැනීමට හැකි වන පරිදි ප්රතිසංස්කරණ සිදු කෙරෙන බව මින්නේරිය වාරිමාර්ග කොට්ඨාසය භාර වාරිමාර්ග ඉංජිනේරු ප්රභාත් මලිත් ජයතිලක මහතා සඳහන් කර තිබේ.














