ශ්රී ලංකා සංගීත නිර්මාණකරුවන්ගේ සහ සංගීත ප්රකාශකයන්ගේ සංගමය (ACPOSL) සිය කර්තෘභාග ගාස්තු අය කිරීමේ ක්රමවේදය නැවත සමාලෝචනය කිරීමට තීරණය කර තිබේ.
ඒ අනුව, නව ගාස්තු ක්රමවේදය සමාලෝචනය කර අවසන් කරන තෙක් සියලුම බලපත්ර නිකුත් කිරීමේ කටයුතු තාවකාලිකව අත්හිටුවීමට එම සංගමය පියවර ගෙන ඇත. මෙම අත්හිටුවීම 2026 නොවැම්බර් මාසයේ පැවැත්වීමට නියමිත වාර්ෂික මහා සභා රැස්වීම දක්වා බලපැවැත්වෙන බවද නිවේදනයේ සඳහන් වේ.
විනෝදාස්වාද ක්ෂේත්රයේ විවිධ පාර්ශ්වකරුවන් පසුගිය සති කිහිපය තුළ ඉදිරිපත් කළ අදහස් හා ප්රතිචාර සලකා බැලීමෙන් අනතුරුව මෙම තීරණය ගත් බව ACPOSL පවසයි. එසේම, මෙම තාවකාලික අත්හිටුවීම හේතුවෙන් සංගමයේ නෛතික අයිතිවාසිකම්වලට හෝ නෛතික ක්රියාමාර්ග ගැනීමේ හැකියාවට බලපෑමක් සිදු නොවන බවද අවධාරණය කර තිබේ.
පසුගිය දිනවල ඇති වූ තත්ත්වයන් හේතුවෙන් කිසියම් පාර්ශ්වයකට හෝ මහජනතාවට අපහසුතාවක් හෝ සිත් රිදවීමක් සිදුවූයේ නම් ඒ පිළිබඳව කනගාටුව පළ කරන බවද සංගමය සඳහන් කර ඇත.
යෝජිත බලපත්ර ක්රමවේදය සහ ඊට අදාළ ගාස්තු සංශෝධනය කිරීම සඳහා සංගීත හා විනෝදාස්වාද ක්ෂේත්රයේ සියලු පාර්ශ්වකරුවන් සමඟ සාකච්ඡා පැවැත්වීමට නියමිතය. සංශෝධිත බලපත්ර ක්රමවේදය නොවැම්බර් මාසයේ වාර්ෂික මහා සභා රැස්වීමට ඉදිරිපත් කර, ඉන් අනතුරුව රජයේ ගැසට් පත්රයේ පළ කිරීමට සැලසුම් කර ඇති බව ACPOSL වැඩිදුරටත් සඳහන් කරයි.
















