බෞද්ධ භික්ෂූන් වහන්සේලා බන්ධනාගාරයෙන් පිටතට යන අවස්ථාවලදී චීවරය පැළඳ සිටීමට පූර්ණ අවසරය ලබාදීම ඇතුළු සංශෝධන බන්ධනාගාර නිත්ය නියෝගවලට එක් කිරීමට පියවර ගෙන ඇති බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා පවසයි.
බන්ධනාගාර ආඥා පනත යටතේ පවතින නීති, රෙගුලාසි සහ නිත්ය නියෝග යාවත්කාලීන කිරීම සඳහා පත් කළ කමිටුවේ අතුරු වාර්තාවේ නිර්දේශ අනුව මෙම පියවර ගෙන තිබේ. අමාත්යවරයා මේ බව සඳහන් කළේ අද (14) අධිකරණ අමාත්යාංශයේදී පැවැත්වූ විශේෂ ප්රකාශයකදීය.
පූජ්ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් බන්ධනාගාරගත කළ අවස්ථාවේ ඇති වූ තත්ත්වයන් සම්බන්ධයෙන් ත්රෛනිකායික මහා නාහිමිවරුන් නියෝජනය කරමින් ස්වාමීන් වහන්සේලා සහ ජනාධිපතිවරයා අතර පැවති සාකච්ඡාවකදී මෙම නීති යාවත්කාලීන කිරීම සඳහා කමිටුවක් පත් කිරීමට තීරණය වූ බවද අමාත්යවරයා පැවසීය.
කමිටුවේ අතුරු වාර්තාව අනුව බන්ධනාගාර නිත්ය නියෝග 356 සංශෝධනය කර 356(අ) ලෙස නව කොටසක් එක් කිරීමටත්, නිත්ය නියෝග 550 සංශෝධනය කිරීමටත් යෝජනා කර ඇත.
ඒ අනුව, බෞද්ධ භික්ෂුවක් බන්ධනාගාරගත කරන අවස්ථාවක ඔහුගේ චීවරය ඉවත් කිරීම සම්බන්ධයෙන් බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවට දැනුම් දී අදාළ ක්රියාමාර්ග ගැනීම සඳහා බන්ධනාගාර කොමසාරිස්වරයාට දින 10ක කාලයක් ලබාදීමට යෝජනා වී තිබේ. වෙනත් ආගමක පූජ්ය පක්ෂයේ පුද්ගලයෙකු සම්බන්ධයෙන්ද අදාළ ප්රතිපාදන අවශ්ය පරිදි සකස් කිරීමට නියමිතය.
එමෙන්ම, භික්ෂූන් වහන්සේ නමක් බන්ධනාගාරයෙන් පිටතට යන අවස්ථාවක චීවරය පැළඳ සිටීමට පූර්ණ අවසරය ලබාදීමටත්, අදාළ පාර්ශ්වයෙන් හෝ නිකායෙන් එසේ නොකරන ලෙස දැනුම් දෙන තෙක් එම අයිතිය පවතින ලෙසත් සංශෝධන යෝජනා කර ඇත.
අතුරු වාර්තාවේ නිර්දේශ අනුව බන්ධනාගාර නිත්ය නියෝග සංශෝධනය කරන ලෙස වැඩබලන බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාට උපදෙස් ලබාදී ඇති බවද අමාත්ය හර්ෂණ නානායක්කාර මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
















