ඊශ්රායලයේ ඩිජිටල් දැන්වීම් සමාගමක් වන Discover-Tech, අන්තර්ජාල දැන්වීම් ජාලයක් භාවිත කරමින් ලොව පුරා අන්තර්ජාල පරිශීලකයන් පිළිබඳ ඔත්තු බලා ඇති බව පර්යේෂණ කණ්ඩායම් දෙකක් අනාවරණය කර තිබේ. ඔවුන් පවසන්නේ පරිශීලකයන් හඳුනාගැනීම සහ ඇතැම් උපාංගවලට ඔත්තු මෘදුකාංග ඇතුළු කිරීමට සහාය වීම සඳහා මෙම දැන්වීම් යොදාගෙන ඇති බවයි.
කැනඩාවේ Citizen Lab පර්යේෂණ කණ්ඩායම සහ නිව්යෝර්ක්හි Confiant දැන්වීම් ආරක්ෂණ සමාගම වෙන වෙනම නිකුත් කළ වාර්තාවලට අනුව, Discover-Tech හි සේවාවන් හරහා ඇමරිකානු රජය විසින් අසාදු ලේඛනගත කර ඇති Candiru ඇතුළු ඊශ්රායල ඔත්තු මෘදුකාංග සමාගම් කිහිපයකට දැන්වීම් වේදිකා වෙත ප්රවේශය ලැබී තිබේ.
Citizen Lab පවසන්නේ Discover-Tech හි දැන්වීම් හවුල්කාරිත්වයන් හරහා වෙබ් අඩවි 120,000කට වැඩි සංඛ්යාවකට සහ යෙදුම් 75,000කට වැඩි සංඛ්යාවකට ළඟා වී ඇති බවයි. සාමාන්ය නිෂ්පාදන ප්රවර්ධනය කරන දැන්වීම් ලෙස පෙනී සිටි ඒවා වෙබ් අඩවියක හෝ යෙදුමක පෙන්වීම පමණක් සිදුවුවද, ඇතැම් පරිශීලකයන් හඳුනාගැනීමට සහ ඔවුන්ගේ තොරතුරු රැස් කිරීමට හැකිවූ බව පර්යේෂකයෝ පෙන්වා දෙති.
Confiant සම-නිර්මාතෘ ජෙරොම් ඩැංගු සඳහන් කර ඇත්තේ Discover-Tech දිනකට ලොව පුරා දැන්වීම් මිලියන 10ක්වත් ප්රචාරය කර ඇති බවයි. දැන්වීම් හරහා එකතු කරන දත්ත වෙනත් පද්ධති සමඟ හුවමාරු කිරීමේ ක්රම මගින්, දැන්වීම් සෘජුව නොපෙන්වූ අවස්ථාවලදී පවා පුද්ගලයන්ගේ ක්රියාකාරකම් නිරීක්ෂණය කිරීමට හැකිවූ බවද ඔහු පවසා තිබේ.
Citizen Lab වාර්තාවට අනුව, 2024 සහ 2025 වසරවලදී කටාර්හි අල් ජසීරා මාධ්ය ආයතනයේ Windows උපාංග 45කට Candiru ඔත්තු මෘදුකාංගය හරහා බලපෑම් එල්ල වී තිබේ. අල් ජසීරා ආයතනය තම කාර්ය මණ්ඩල සාමාජිකයන් ඉලක්ක කරගත් ඔත්තු මෘදුකාංග ප්රහාර හෙළා දකිමින්, සේවකයන් සහ පද්ධති ආරක්ෂා කිරීමට පියවර ගන්නා බව සඳහන් කර ඇත.
පෙන්ටගනය, ජාත්යන්තර පරමාණුක බලශක්ති ඒජන්සිය සහ ජාත්යන්තර අපරාධ අධිකරණය ඇතුළු සංවේදී ආයතනවල ජාලවලද මෙම දැන්වීම් දර්ශනය වී ඇති බව Confiant පවසයි. එක්සත් ජාතීන්ගේ සංවිධානය, නේටෝ සංවිධානය, යුරෝපා කොමිසම සහ ජාතික රජයන් කිහිපයකට සම්බන්ධ ජාලවලද එවැනි දැන්වීම් පැවති බව Citizen Lab වාර්තා කර තිබේ.
මේ සම්බන්ධයෙන් පියවර ගනිමින් Google සමාගම සිය දැන්වීම් වේදිකාවලින් Discover-Tech ඉවත් කර ඇති බව ප්රකාශ කර තිබේ. යුරෝපීය දැන්වීම් කර්මාන්ත සංගමයක් වන IAB Europe ද එම සමාගම අනුමත සැපයුම්කරුවන්ගේ ලැයිස්තුවෙන් අත්හිටුවා ඇති අතර, Comcast සමාගමට අයත් Beeswax වේදිකාවද Discover-Tech ඉවත් කර තිබේ.
මෙම අනාවරණය මගින් මාර්ගගත දැන්වීම් පද්ධති පෞද්ගලිකත්වයට පමණක් නොව ජාතික ආරක්ෂාවටද තර්ජනයක් විය හැකි බවට අවධානය යොමුව ඇත. මෙම තොරතුරු Reuters පුවත් සේවය වාර්තා කර තිබේ.
















