ශ්රී ලංකාව ඇමරිකානු ඩොලර් බිලියන 15ක ඩිජිටල් ආර්ථිකයක් කරා ගෙන යාමේ ජාතික අරමුණ සාක්ෂාත් කර ගැනීම සඳහා ඩිජිටල් යටිතල පහසුකම් සංවර්ධනය කිරීම මෙන්ම මානව කුසලතා වැඩිදියුණු කිරීමද අත්යවශ්ය බව අග්රාමාත්ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය පවසයි.
ශ්රී ලංකා පරිගණක සංගමයේ (CSSL) ස්වර්ණ ජයන්තියට සමගාමීව ඔක්තෝබර් 14 වැනිදා කොළඹදී පැවති 44 වැනි ජාතික තොරතුරු තාක්ෂණ සම්මන්ත්රණයේදී (NITC 2026) අග්රාමාත්යවරිය මේ බව සඳහන් කළාය.
රජයේ ඩිජිටල්කරණ වැඩපිළිවෙළ යටතේ ක්රියාත්මක GovPay වේදිකාව හරහා 2025 දෙසැම්බර් වන විට රාජ්ය ආයතන 215කට වැඩි සංඛ්යාවක රුපියල් බිලියන 2කට අධික වටිනාකමකින් යුත් ගනුදෙනු සිදුකර ඇති බවද ඇය පැවසුවාය.
අධ්යාපන ක්ෂේත්රයේ ඩිජිටල් පරතරය අවම කිරීම සඳහා පාසල් පන්ති කාමරයෙන්ම ඩිජිටල් ආර්ථිකයක පදනම ගොඩනැගිය යුතු බව පෙන්වා දුන් අග්රාමාත්යවරිය, තාක්ෂණික උපාංග ලබාදීමට අමතරව ගුරුවරුන් පුහුණු කිරීම, ඩිජිටල් සාක්ෂරතාව වර්ධනය කිරීම සහ විචාරශීලී චින්තනය දියුණු කිරීම කෙරෙහිද රජයේ අවධානය යොමුව ඇති බව සඳහන් කළාය.
හදිසි ආපදා අවස්ථාවලදී සන්නිවේදන කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා ඇමරිකානු ඩොලර් 181,837ක ප්රදානයක් යටතේ ආධුනික ගුවන්විදුලි සන්නිවේදන ජාලයක් ස්ථාපිත කිරීමට විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව සහ ශ්රී ලංකා ගුවන්විදුලි සංස්ථාව ගිවිසුම්ගත වී ඇති බවද ඇය පැවසුවාය.
කෘත්රිම බුද්ධිය රාජ්ය හා පෞද්ගලික අංශවලට ඒකාබද්ධ කිරීමේදී විනිවිදභාවය, වගවීම සහ මානව සුබසාධනය ප්රමුඛ කරගත යුතු බවද අග්රාමාත්යවරිය අවධාරණය කළාය.
ජපානයේ Society 5.0 දැක්ම සහ සිංගප්පූරුවේ SkillsFuture වැඩසටහන උදාහරණයට ගනිමින් ඇය පෙන්වා දුන්නේ තාක්ෂණය හුදෙක් මෙවලමක් පමණක් නොවන බවයි. එහි අවසාන අරමුණ විය යුත්තේ සියලු පුරවැසියන්ගේ ජීවන තත්ත්වය උසස් කිරීම සහ සැමට සමාන අවස්ථා උදාකර දීම සඳහා ඩිජිටල් තාක්ෂණය යොදා ගැනීම බවද ඇය සඳහන් කළාය.
මෙම අවස්ථාවට ඩිජිටල් ආර්ථික කටයුතු නියෝජ්ය අමාත්ය එරංග වීරරත්න මහතා, අග්රාමාත්ය ලේකම් ප්රදීප් සපුතන්ත්රී මහතා ඇතුළු ශ්රී ලංකා පරිගණක සංගමයේ සාමාජිකයෝ සහභාගී වූහ.
















