කාවන්තිස්ස ඇතාට ප්රතිකාර කිරීම සම්බන්ධයෙන් සමාජ මාධ්ය ඔස්සේ එල්ල වූ චෝදනා හා විවේචන හේතුවෙන් වයඹ වනජීවී කලාපයේ පශු වෛද්ය ඉසුරු හේවාකොට්ටගේ මහතා සිය වත්මන් සේවා ඒකකයෙන් ඉවත්වීමට තීරණය කර ඇති බව වාර්තා වේ.
වනජීවී අධ්යක්ෂ ජනරාල්වරයා වෙත ඒ සම්බන්ධයෙන් ලිපි යොමු කර ඇති බව සඳහන් වන අතර, ඔහු සමස්ත වනජීවී දෙපාර්තමේන්තුවෙන්ම ඉල්ලා අස්වන බවට මේ දක්වා නිල වශයෙන් තහවුරු වී නොමැත.
කාවන්තිස්ස ඇතාට මුල් අවස්ථාවේ ප්රතිකාර ලබාදීම සම්බන්ධයෙන් වෛද්යවරයාට සමාජ මාධ්ය ඔස්සේ විවේචන එල්ල විය. එහෙත් එම චෝදනා මඟින් පමණක් ප්රතිකාරවල අඩුපාඩුවක් සිදුවූ බව හෝ එය ඇතාගේ මරණයට හේතු වූ බව නිගමනය කළ නොහැකිය.
වනජීවී පශු වෛද්යවරයකු ලෙස 2016 වසරේදී සේවයට එක්වූ ඉසුරු හේවාකොට්ටගේ මහතා අනුරාධපුර පණ්ඩුලගම ප්රදේශයේ සහ පසුව නිකවැරටිය වනජීවී ඒකකයේ සේවය කර තිබේ. වයඹ කලාපයේ වන අලි, හස්තීන් සහ අනෙකුත් වනසතුන්ට ප්රතිකාර කිරීමේදී ඔහු දායකත්වය ලබාදී ඇති අතර, අනතුරට පත්වන කැස්බෑවන් බේරාගෙන නැවත මුහුදට මුදාහැරීමේ කටයුතු සම්බන්ධයෙන් ද ප්රසිද්ධියක් උසුලයි.
කාවන්තිස්ස ඇතාගේ මරණයට හේතුව සහ එයට පෙර ලබාදුන් ප්රතිකාර පිළිබඳව මතුව ඇති ප්රශ්න සම්බන්ධයෙන් මධ්යස්ථ හා විනිවිදභාවයෙන් යුතු විමර්ශනයක් සිදුකරන බව පරිසර අමාත්යවරයා ප්රකාශ කර තිබේ. එම විමර්ශනයේ ප්රතිඵල ලැබෙන තෙක් වෛද්ය ප්රතිකාරවල අඩුපාඩු හෝ කිසියම් පාර්ශ්වයක වගකීම පිළිබඳව අවසන් නිගමනයකට එළඹිය නොහැකිය.















