අද (21) ශ්රේෂ්ඨාධිකරණය හමුවේ පෙනී නොසිටි හිටපු රාජ්ය අමාත්ය ප්රේමලාල් ජයසේකර මහතා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝග කරමින් විවෘත වරෙන්තුවක් නිකුත් කර තිබේ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂවරයා මාර්ගයෙන් වරෙන්තුව නිකුත් කිරීමට නියෝග කළ ශ්රේෂ්ඨාධිකරණය, එය කඩිනමින් ක්රියාත්මක කිරීමට අවශ්ය පියවර ගන්නා ලෙස පොලිස්පතිවරයාට ද දැනුම් දී ඇත.
2015 ජනාධිපතිවරණ සමයේ කහවත්ත ප්රදේශයේ පැවැති මෛත්රීපාල සිරිසේන මහතාගේ ප්රචාරක රැළියකට එල්ල වූ වෙඩි ප්රහාරයකින් පුද්ගලයෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් ප්රේමලාල් ජයසේකර මහතා ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකුට රත්නපුර මහාධිකරණය මරණීය දණ්ඩනය නියම කර තිබුණි. පසුව අභියාචනාධිකරණය ඔවුන් තිදෙනා නිදොස් කොට නිදහස් කළේය.
එම තීන්දුවට එරෙහිව අගතියට පත් පාර්ශ්වය ශ්රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළ අභියාචනයක් අද කැඳවූ අවස්ථාවේදී ප්රේමලාල් ජයසේකර මහතා අධිකරණයට පැමිණ සිටියේ නැත. ඔහු විදේශගතව සිටින බව නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයට දැනුම් දී තිබේ.
අද අධිකරණය හමුවේ පෙනී සිටි සෙසු විත්තිකරුවන් දෙදෙනා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ද ශ්රේෂ්ඨාධිකරණය නියෝග කර ඇත.
















