මෙරටදී සිදුකිරීමට අපහසු අතිශය සංකීර්ණ හෘද සැත්කම් අවශ්ය ශ්රී ලාංකික දරුවන් 13 දෙනෙකුට නොමිලේ සැත්කම් සිදුකිරීමට ‘Take Heart Mercy Mission’ විදේශීය විශේෂඥ වෛද්ය කණ්ඩායම පියවර ගෙන තිබේ.
දේශීය සෞඛ්ය කාර්ය මණ්ඩලය සමඟ එක්ව මෙම සැත්කම් ගාල්ල කරාපිටිය ජාතික රෝහලේ හෘද හා උරස් ශල්ය ඒකකයේදී සිදුකෙරේ.
මෙම සැත්කම් සහ ඒ ආශ්රිත වෛද්ය කටයුතු නිරීක්ෂණය කිරීම සඳහා සෞඛ්ය නියෝජ්ය අමාත්ය වෛද්ය හංසක විජේමුණි මහතා අද (22) කරාපිටිය ජාතික රෝහලේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය. එහිදී හෘද සැත්කමක් නිරීක්ෂණය කළ ඔහු ළමා දැඩි සත්කාර ඒකකයට ද ගොස් සැත්කම්වලින් පසු දරුවන් සුවය ලබන ආකාරය පිළිබඳව තොරතුරු ලබාගෙන තිබේ.
අතිශය සංකීර්ණ හෘද රෝග හඳුනාගත් පසු මෙරටදී මෙතෙක් බොහෝ අවස්ථාවල ලබාදීමට හැකි වී ඇත්තේ රෝග විනිශ්චය පමණක් බව පෙන්වා දුන් නියෝජ්ය අමාත්යවරයා, නියමිත වේලාවට මෙවැනි සැත්කම් සිදුකිරීමෙන් දරුවන්ගේ පමණක් නොව ඔවුන්ගේ පවුල්වල සහ සමස්ත සමාජයේම අනාගතය යහපත් ලෙස වෙනස් කළ හැකි බව සඳහන් කළේය.
ශ්රී ලංකාවේ පවතින නීති රීතිවලට අනුකූලව අවශ්ය අවසර ලබාගෙන, රජයට කිසිදු පිරිවැයක් නොදරමින් මෙම වැඩසටහන ක්රියාත්මක කරන බව ද ඔහු පැවසීය. ඒ අනුව අවශ්ය උපකරණ සහ අනෙකුත් වියදම් අදාළ පුණ්යායතනය විසින් දරනු ලබයි.
සෞඛ්ය අමාත්යාංශයේ පටක බැංකුව හරහා ලබාදුන් හෘද පටකයක් බද්ධ කිරීමේ සංකීර්ණ සැත්කමක් ද අද (22) සිදුකර තිබේ. මෙවැනි සැත්කම් තුළින් දරුවන්ට ප්රතිකාර ලබාදීමට අමතරව, දේශීය වෛද්ය කණ්ඩායම්වලට නව තාක්ෂණික දැනුම, අත්දැකීම් සහ ප්රාගුණ්යය ලබාගැනීමට ද අවස්ථාව සැලසෙන බව නියෝජ්ය අමාත්යවරයා අවධාරණය කළේය.
ශ්රී ලංකාවේ උපතින්ම හෘද රෝග සහිත දරුවන්ගේ ජීවිත බේරාගැනීමේ අරමුණින් දේශීය වෛද්යවරුන් හා ශල්ය වෛද්යවරුන් සමඟ එක්ව කටයුතු කිරීම සඳහා ‘Take Heart Mercy Mission’ පුණ්යායතනය මීට වසර 23කට පෙර පිහිටුවා තිබේ.
විවිධ රටවල් නියෝජනය කරන වෛද්යවරුන්, හෙද නිලධාරීන් සහ තාක්ෂණික ශිල්පීන්ගෙන් සමන්විත එම විශේෂඥ කණ්ඩායම වාර්ෂිකව කරාපිටිය රෝහලට පැමිණ ශ්රී ලාංකික දරුවන්ට නොමිලේ ප්රතිකාර ලබාදීමට කටයුතු කරයි.
මෙම අවස්ථාවට කරාපිටිය ජාතික රෝහලේ අධ්යක්ෂ වෛද්ය ප්රියන්ත අතපත්තු මහතා ඇතුළු රෝහල් කාර්ය මණ්ඩලය සහ ‘Take Heart Mercy Mission – Sri Lanka’ විශේෂඥ වෛද්ය කණ්ඩායම එක්ව සිටියහ.
















