ශ්රී ලංකාවේ ක්රියාත්මක වන නව අධ්යාපන ප්රතිසංස්කරණ පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්රීවරුන් දැනුවත් කිරීමේ විශේෂ රැස්වීමක් පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්වී තිබේ.
අධ්යාපන, උසස් අධ්යාපන හා වෘත්තීය අධ්යාපන අමාත්යාංශයේ උපදේශක කාරක සභාවේ මෙම විශේෂ රැස්වීම අග්රාමාත්ය සහ අධ්යාපන අමාත්ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මියගේ ප්රධානත්වයෙන් පැවැත්විණි.
එහිදී නව ප්රතිසංස්කරණ යටතේ ක්රියාත්මක කිරීමට නියමිත ජාතික විෂයමාලා රාමුව, පාසල් මට්ටමේ ඇගයීම් හා සහතිකකරණ ක්රමවේද පිළිබඳව මන්ත්රීවරුන්ට පුළුල් දැනුවත් කිරීමක් සිදුකර තිබේ.
2026 ජනවාරි මාසයේදී පළමු ශ්රේණියට හඳුන්වා දුන් ප්රතිසංස්කරණවල ප්රගතිය මෙන්ම, 2027 වසරේදී දෙවන සහ හයවන ශ්රේණි දක්වා එම ප්රතිසංස්කරණ ව්යාප්ත කිරීමට ගෙන ඇති සූදානම පිළිබඳවද මෙහිදී කරුණු ඉදිරිපත් කර ඇත.
මීට අමතරව, පාසල් සඳහා ස්මාර්ට් පන්තිකාමර, අන්තර්ජාල පහසුකම් සහ ඩිජිටල් උපකරණ සැපයීමේ ව්යාපෘතිවල ප්රගතිය පිළිබඳවද අවධානය යොමු විය.
අධ්යාපන අමාත්යාංශයේ ලේකම් තිලකා ජයසුන්දර මහත්මිය සඳහන් කළේ, ජාතික අධ්යාපන කොමිෂන් සභාවේ ප්රතිපත්ති අනුව 2025 වසරේදී ආරම්භ කළ ප්රතිසංස්කරණ ක්රියාවලිය ප්රධාන ක්ෂේත්ර පහක් යටතේ ක්රියාත්මක වන බවයි. ඒ සඳහා ජාතික මෙහෙයුම් කමිටුවක් සහ අනුකමිටු පහක් ද පිහිටුවා තිබේ.
ජාතික අධ්යාපන ආයතනයේ අධ්යක්ෂ ජනරාල්, සම්මානිත මහාචාර්ය එම්.ඕ. ඩෙනිස් ප්රනාන්දු මහතා පෙන්වා දුන්නේ, මූලික පර්යේෂණ සහ අමාත්ය මණ්ඩල අනුමැතිය මත සකස් කරන නව විෂයමාලාවේ අරමුණ සිසුන්ගේ දැනුම, ආකල්ප සහ කුසලතා වර්ධනය කිරීම බවයි.
සමස්ත සංවර්ධනය සහ ප්රතිඵල මත පදනම් වූ අධ්යාපන ක්රමයක් ගොඩනැගීම තුළින් අනාගත ලෝකයට ගැළපෙන මානව සම්පතක්, නවෝත්පාදකයන් සහ විශේෂඥයන් බිහිකිරීමට හැකි වනු ඇති බවද ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.
















