ශ්රී ලංකා ගුවන් හමුදාවේ 75 වැනි සංවත්සරයට සමගාමීව සංවිධානය කළ බෞද්ධ ආගමික පූජෝත්සවයක් ඔක්තෝබර් 22 සහ 23 යන දෙදින මහනුවර ශ්රී දළදා මාලිගාවේදී පැවැත්විණි.
ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් බන්දු එදිරිසිංහ මහතා සහ ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි ක්රීෂාන්ති එදිරිසිංහ මහත්මිය ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්වූහ.
ආගමික වැඩසටහනට සමගාමීව ගුවන් හමුදාපතිවරයා මල්වතු හා අස්ගිරි මහා විහාරවල මහනායක හිමිවරුන් බැහැදැක ආශීර්වාද ලබාගත්තේය. අනතුරුව ශ්රී දළදා මාලිගාවට පැමිණ ශ්රී දළදා වහන්සේ උදෙසා ගිලන්පස පූජාවක් සිදුකර ආශීර්වාද ලබාගැනීමෙන් පසු දියවඩන නිලමේ ප්රදීප් නිලංග දෑල මහතා ද හමුවිය.
සංවත්සරයට සමගාමීව භික්ෂූන් වහන්සේලා 75 නමක් උදෙසා අෂ්ටපරිෂ්කාර සහිත සාංඝික දානමය පින්කමක් ද පැවැත්විණි. එහිදී මාතෘභූමියේ ඒකීයභාවය හා භෞමික අඛණ්ඩතාව වෙනුවෙන් දිවි පිදූ ගුවන් හමුදා රණවිරුවන් සිහිපත් කර පුණ්යානුමෝදනා සිදුකළ අතර, සක්රිය සේවයේ නිරත ගුවන් හමුදා සාමාජිකයන්ට සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ට ආශීර්වාද කිරීම ද සිදුකෙරිණි.
මෙම අවස්ථාවේදී ශ්රී දළදා මාලිගාවේ ආරක්ෂාව සඳහා ගුවන් හමුදාව යොදවා ඇති ගිනි නිවාරණ කණ්ඩායම, රථවාහන සහ උපකරණ ද ගුවන් හමුදාපතිවරයාගේ නිරීක්ෂණයට ලක්විය.
ගුවන් හමුදා සුභසාධක අධ්යක්ෂ මණ්ඩලය සංවිධානය කළ මෙම ආගමික වැඩසටහනට ගුවන් හමුදා අධ්යක්ෂ මණ්ඩලයේ නිලධාරීන්, ජ්යෙෂ්ඨ නිලධාරීන්, සෙසු නිලයන් සහ දිවි පිදූ ගුවන් හමුදා රණවිරුවන්ගේ පවුල්වල සාමාජිකයෝ ද සහභාගී වූහ.
















