නුවරඑළිය ඉඩම් ප්රතිසංස්කරණ කොමිෂන් සභාවේ හිටපු ක්ෂේත්ර නිලධාරියෙකු අද (23) හැටන් පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරු එම කොමිෂන් සභාවේ සේවය කළ සමයේදී නෝර්වුඩ්, හැටන් සහ හැටන් රුවන්පුර ප්රදේශවලින් ඉඩම් කැබලි ලබාදෙන බව පවසා පුද්ගලයන් 70 දෙනෙකුගෙන් පමණ මුදල් ලබාගෙන ඇති බවට ලැබුණු පැමිණිලි මත මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.
අදාළ ගනුදෙනුවලදී හැටන් දික්ඔය නගර සභාවේ ලංකා කම්කරු කොංග්රසයේ හිටපු නාගරික මන්ත්රීවරයෙකුද සම්බන්ධ කරගෙන ඇති බව පොලිසිය සඳහන් කරයි. පොලිසියට ප්රකාශයක් ලබාදීම සඳහා පැමිණි අවස්ථාවේදී හිටපු නිලධාරියා අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම සිද්ධියට අදාළව මුදල් ලබාදුන් බව කියන හිටපු නාගරික මන්ත්රීවරයා මීට පෙර අත්අඩංගුවට ගෙන හැටන් මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබූ අතර, පසුව ඔහු ඇප මත මුදාහැර තිබේ.
ඉඩම් ලබාදෙන බව පවසමින් පුද්ගලයන්ගෙන් මුදල් ලබාගෙන තිබුණද, මෙතෙක් කිසිවෙකුටත් ඉඩම් ලබාදී නොමැති බවට ලැබුණු පැමිණිලි සම්බන්ධයෙන් පොලිසිය විමර්ශන සිදුකරයි.
මෙම සිද්ධියට සම්බන්ධ බවට සැක කෙරෙන නුවරඑළිය ඉඩම් ප්රතිසංස්කරණ කොමිෂන් සභාවේ තවත් හිටපු නිලධාරීන් කිහිපදෙනෙකු අත්අඩංගුවට ගැනීමට නියමිත බවද පොලිසිය සඳහන් කර ඇත. අත්අඩංගුවට ගත් සැකකරු හැටන් මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.















