අමෙරිකානු ෆෙඩරල් ගුවන් සේවා පරිපාලනය (FAA) විසින් තහනම් කර තිබූ ගුවන් කලාප හරහා ගුවන් ගමන් සිදුකිරීම සම්බන්ධයෙන් Air France සහ KLM ගුවන් සමාගම් වෙත දඩ මුදල් නියම කර තිබේ.
අමෙරිකානු Delta Air Lines සමාගමේ ගුවන් ගමන් කේත භාවිත කරමින් අදාළ ගුවන් ගමන් සිදුකිරීම සම්බන්ධයෙන් එක්සත් ජනපද ප්රවාහන දෙපාර්තමේන්තුව මෙම දඩ නියම කර ඇත.
ඒ අනුව Air France සමාගමට අමෙරිකානු ඩොලර් 105,000ක දඩයක් ද, රාජකීය ලන්දේසි ගුවන් සේවය වන KLM සමාගමට ඩොලර් 320,000ක දඩයක් ද නියම කර තිබේ. ඒ අනුව සමාගම් දෙකට නියම කර ඇති මුළු දඩ මුදල ඩොලර් 425,000කි.
ගැටුම් සහ අන්තවාදී ක්රියාකාරකම් පවතින විදේශීය ගුවන් කලාපවල සිවිල් ගුවන් ගමන්වල ආරක්ෂාව තහවුරු කිරීම සඳහා FAA ආයතනය මෙවැනි සීමා පනවා ඇත. අමෙරිකානු ගුවන් සේවා කේත යටතේ ගුවන් ගමන් ක්රියාත්මක කරන විදේශීය ගුවන් සමාගම් ද එම නීතිරීතිවලට අනුකූල විය යුතුය.
අමෙරිකානු ප්රවාහන ලේකම් ෂෝන් පී. ඩෆී (Sean P. Duffy) සඳහන් කර ඇත්තේ අමෙරිකානු ගුවන් සේවා කේතයක් යටතේ ගුවන් ගමන් සිදුකරන විට ආරක්ෂක නීති පිළිපැදීම අනිවාර්ය බවත්, මගී ආරක්ෂාවට ප්රමුඛත්වය දෙමින් නීති උල්ලංඝනය කරන ගුවන් සේවාවලට එරෙහිව ක්රියා කරන බවත්ය.















