හැටන්, කොටගල ප්රදේශයේ කිරි ගොවීන් මුහුණ දෙන ගැටලු සහ අඩුපාඩු පිළිබඳව සොයා බැලීම සඳහා කෘෂිකර්ම අමාත්ය කේ.ඩී. ලාල් කාන්ත මහතා එම ප්රදේශයේ සත්ත්ව ගොවිපළ කිහිපයක නිරීක්ෂණ චාරිකාවකට එක්ව තිබේ.
දේශීය කිරි කර්මාන්තයට ඉහළ දායකත්වයක් සපයන කොටගල රොසිටා වතුයායේ කිරි ගොවිපළ සහ හැරින්ටන් වතුයායේ පෞද්ගලික සත්ත්ව ගොවිපළක් වෙත ගිය අමාත්යවරයා, ගොවීන් සමඟ සාකච්ඡා කර ඔවුන්ගේ ගැටලුවලට කඩිනම් විසඳුම් ලබාදීමට පියවර ගන්නා බව සඳහන් කර ඇත.
රොසිටා ගොවිපළේ වගා නොකළ ඉඩම් කිරි ගොවීන්ට ලබාදීම සඳහා අදාළ පාර්ශ්ව සමඟ සාකච්ඡා කර කටයුතු කරන බව ද අමාත්යවරයා ප්රකාශ කර තිබේ.
මධ්යම පළාත් සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්ය අමාත්යාංශය සහ පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව එක්ව සංවිධානය කළ මෙම වැඩසටහනේදී, නුවරඑළිය දිස්ත්රික්කයේ සාර්ථකව කිරි ගොවිපළ පවත්වාගෙන යන තෝරාගත් ගොවීන් කිහිපදෙනෙකුට චෙක්පත් පිරිනැමීම ද අමාත්යවරයා අතින් සිදුකර ඇත.
මේ අතර, පසුගිය රජය සමයේ ඉන්දියාවට විකුණා තිබූ ජාතික පශු සම්පත් මණ්ඩලයට අදාළ ගිවිසුම් ඉන්දීය රජය සමඟ සාකච්ඡා කර අවලංගු කර ගැනීමෙන් අනතුරුව එම ආයතනය මේ වනවිට ලාභ ලබන තත්ත්වයට පත්කර ඇති බව ද අමාත්යවරයා සඳහන් කර තිබේ.
රට සහලින් ස්වයංපෝෂිත වී වෙළෙඳපොළේ සහල් මිල අඩු මට්ටමක පවතින පසුබිමක, මෙරට නිෂ්පාදනය නොකරන ඇතැම් සහල් වර්ග පමණක් ආනයනය කරන බව ද ඔහු වැඩිදුරටත් ප්රකාශ කර ඇත.













