අන්තර්ජාලය හරහා මිතුරු සබඳතා, ප්රේම සබඳතා සහ විවාහ සබඳතා ගොඩනඟා ගැනීමේදී වඩාත් සැලකිලිමත් වන ලෙස මහජනතාවට දැනුම් දී තිබේ. Dating App හරහා පුද්ගලයන් රවටා මුදල් වංචා කිරීමේ සිදුවීම් රැසක් මෑත කාලයේදී වාර්තා වී ඇත.
මෙම වංචාවල නිරත පුද්ගලයන් කෙටි කාලයක් තුළ හෝ දිගු කාලයක් පුරා ආකර්ෂණීය පණිවුඩ යොමු කරමින් වින්දිතයන්ගේ විශ්වාසය දිනාගන්නා බව සඳහන් වේ. අනතුරුව Facebook, WhatsApp සහ Telegram වැනි සමාජ මාධ්ය හා පණිවුඩ හුවමාරු වේදිකා හරහා සම්බන්ධ වී, මිතුරු ඇසුර හෝ ලිංගික සේවා ලබාගත හැකි බව පවසමින් විශේෂ ජංගම දුරකථන යෙදවුම් බාගත කර ගැනීමට ඔවුන් පෙළඹවීම සිදු කරයි.
Dating App එකක් ලෙස පෙනී යන මෙම වංචනික යෙදවුම් ඇතැම් අවස්ථාවල APK ගොනු ලෙස ලබාදෙන බවත්, ඒවා දුරකථනයේ ස්ථාපනය කිරීමෙන් පසු මාර්ගගත ගෙවීම් සිදු කරන අවස්ථාවලදී බැංකු ගිණුම් තොරතුරු, පරිශීලක නාම සහ මුරපද වංචනිකයන් අතට පත්වීමේ අවදානමක් පවතින බවත් අනාවරණය වේ. ඒ හරහා වින්දිතයන්ගේ ගිණුම්වල ඇති මුදල් වංචනික ලෙස ලබාගැනීමට ඔවුන් කටයුතු කරන බව සඳහන් වේ.
එබැවින් නාඳුනන පුද්ගලයන් විසින් එවන යෙදවුම් හෝ APK ගොනු බාගත කිරීමෙන් වළකින ලෙසත්, බැංකු තොරතුරු, OTP අංක, මුරපද සහ වෙනත් පෞද්ගලික තොරතුරු ආගන්තුකයන්ට ලබා නොදෙන ලෙසත් මහජනතාවට අවධාරණය කර තිබේ. එමෙන්ම නාඳුනන පුද්ගලයන් වෙත පෞද්ගලික ඡායාරූප හෝ වීඩියෝ දර්ශන යොමු කිරීමේදීද දැඩි සැලකිල්ලක් දැක්විය යුතුය.
අන්තර්ජාලය හරහා සබඳතා ගොඩනඟා ගැනීමේදී ගන්නා තීරණ පුද්ගල ආරක්ෂාවට සහ මූල්ය සුරක්ෂිතතාවට සෘජුව බලපාන බැවින්, ඩිජිටල් වේදිකා භාවිත කිරීමේදී අවධානයෙන් කටයුතු කරන ලෙස දැනුම් දී තිබේ.













